පුරුදු වෙන්න ඉස්කෝලෙ යාම..

මගේ මතකයඈතට දිව යද්දි නතර වෙන එක තැනක් තමයි ඉස්කෝල ජීවිතේ ආරම්භය... අසූ ගණන් වල මුල් කාලෙ.. ඉපදිලා තියෙන්නෙ ඔක්තෝබර් නිසා අනිත් ළමයින්ට වඩා ටිකක් පොඩියි.. මං ඉස්සර කෙඬෑරි පොඩි එකෙක්.. මොනවා ගිල්ලෙව්වත් ඇඟේ මස් කළඳක් නැහැ...

මේ කියන කාලෙ අපි හිටියෙ ගම්පොල.. අම්බුළුවාව කන්ද පාමුළ.. අපේ ගෙදරින් පාරට ආවාම තියනවා පිරිමි ඉස්කෝලයක්.. ඒ ඉස්කෝලෙන් එහා පැත්තෙ ගෑණු ඉස්කෝලෙ... අපේ අම්ම ඉගැන්නුවේ ඔය ඉස්කෝල දෙකේ කාලෙන් කාලෙට ට්‍රාන්සර් වෙමින්..

මට අවුරුදු 4 කාලෙදි අපේ ගෙදරට මල්ලියෙක් ගෙනාවා.. එයාව බලා ගන්න ඔනෙ නිසා අපේ අම්මට විතරක් ඉස්කෝලෙන් නිවාඩු දීලා තිබුනා.. අනිත් අයට මල්ලිලා හිටියට එයලගෙ අම්මලාට නම් නිවාඩු තිබුනෙ නැහැ...ඉතින් ඒ ඉස්කෝලෙ අක්කලා අපේ ගෙදර එන්න පාර දන්නෙ නැති හින්දා අන්තිමේදි අම්මට ඉස්කොලෙ යන්න උනා.. අපෙ ගෙදරට මල්ලි බලා ගන්න මාලනී කෙනෙක් ගෙනාවා...

කොහොම හරි අම්මගෙ ඉස්කෝලෙ අක්කලා අඳින ජාතියේ ගවුමකුයි බෑග් එකකුයි දිග මිටක් තියන කුඩේකුයි වගේ අඩුම කුඩුම වගයක් අපේ ගෙදරට සේන්දු වුනා... දැන් මම ඉස්කෝලෙ යනවා..

ඒක හේරත් මිස් ගෙ පංතිය. ඒ පංතියේ හිටියා දුලානි අක්කයි, දිමුතු අක්කයි... මමත් තරඟෙට අකුරු ලියනවා, ඉලක්කම් ලියනවා, ඉන්ටවල් එකේ දි පියනෙන් වහගෙන පෙට්ටිය ඇතුලට රිංගලා වගේ පාන් කනවා..පස්සෙ බට්ටා පනිනවා.. මේ වගේ රාජ්ජෙක ටික කාලයක් රජ කරගෙන ඉන්දැද්දි මට හරි අකරතැබ්බයක් උනා..


මං ඇරෙන්න අනික් ඔක්කොමලා පද්මා මිස්ගෙ පංතියට ගියා.. ඒගොල්ලො පාස් වෙලාලු.. එතකොට මං??????? මගෙ පංතියට අලුත් ළමයි ඇවිත්...
 
මං මොකද්දෝ යුද්ධයක් කලා.. මට හරියට මතක නැහැ.. අන්තිමට අම්මට මැදිහත් වෙන්නම උනා.. හීන් පේර කෝටුවක උදව්වෙන් තමයි මට වැටහීමක් ලබා දුන්නෙ පහුගිය ටිකේ ඉස්කෝලෙ ගියෙ පුරුදු වෙන්න බව. ඒ ක්‍රමය සාර්ථක වෙච්ච නිසා හේරත් මිස් මාව හෝඩියෙ පන්තියට ස්ථිරවම බඳවා ගැනීමට කැමති වූ බවත් ඒ විදියටම වටහා දුන්නා...
 
මං ඉතින් පුරුදු වෙන්න ඉස්කෝලෙ යනකං අනිත් අය මොන්ටිසෝරි කියලා එකකට ගිහිං තිබුණා... ඒකෙ සුදු ගවුමක් වත් මොකවත් නැහැ...පළ පුරුද්ද හීන්දාම මට ආයෙත් මගේ රාජ්ජෙ පිහිටුවා ගන්න එක එච්චර ප්‍රශ්නයක් උනේ නැහැ..
 
මං හිතන්නෙ හේරත් මිස් මට විස්වාසනීය වෙනසකට අළුත් ඇරඹුමක් ලබා දුන්නා.....

18 comments:

Chanaka Aruna Munasinghe said...

අපේ අම්මත් ටීචර් කෙනෙක් හින්දා මමත් මොන්ටිසෝරි යන්නෙ නැතුව කෙලින්ම 1 වසරට ගියා. හැබැයි ඒ ක්‍රමේ සාර්ථක වැඩි වෙලා අවුරුද්ද අන්තිමට මම පන්තියෙ පළවෙනියා වෙලා. ඉතින් තව අවුරුද්දක් 1 වසරෙ ඉන්න එකේ තෙරුමක් නෑ කියල මට 2 වසරට යන්න දුන්නා. හැබැයි මම 2 වසර පන්තියෙ හිටියට ඒ අවුරුද්ද පුරාම මගේ නම තිබුනෙ 1 වසර පන්තියෙ රෙජිස්ටරේ. 3 වසර පන්තියෙදි මගේ නම හරි රෙජිස්ටරේට වැටුනා. ඒ කියන්නෙ මම 2 වසර පන්තියක නීත්‍යානුකූල විදිහට ඉඳලා නැහැ.

ආ තව එකක් තමයි මගේ 1 වසර පන්තියේ ගුරුතුමීත් හේරත් මිස් කෙනක්

.::පිස්සා::. said...

හෙ හේ..
ඔයත් කෑම පෙට්ටිය වහන්ද කෑවේ?
මම නම් ඒ කාලෙත් අශිෂ්ඨ නිසා, ඕවා ගානකට ගන්නේ නැතුව ඔහේ කනවා.. අනිත් ලමයි බොහොම සංවරව ඔයාගේ විදියට තමා කෑවේ..
දැන් නම් මට හිනා..

පුර සඳ said...

මට පුරුදු වෙන්න ඉස්කෝලෙ ගිය අවුරුද්දට රිපෝට් එකක් නැහැ.. රෙජිස්ටරේ නමත් නැහැ... මං හිතන්නෙ ඒක පුරුදු වෙන්න ම යවපු ගමනක්... මොකද?.... සාර්ථක ක්‍රම වේදයක් පාවිච්චි කරලා මට ඒක වටහා දුන්නනෙ? :-)

හවසට කියන්නං ඔය පුරුදු වෙන්න ඉස්කෝලෙ යාමනාවට හෙතු වෙච්ච මල්ලිගේ ආගමන කතාව...................

Anonymous said...

මම දැන් බ්ලොග් කියවන්නෙ ලාංකීය සිතුවිලි එකෙන් මෙ බ්ලොග් එකත් එකට දාන්න.
http://blog.inetlanka.com/

Raven said...

මමත් එක වසරෙ ඉන්දැද්දි එවකට අපේ ගුරුතුමිය එයාගෙ දුවණිය අපේ පන්තියට එක්කන් ආවා මතකයි. හැමදාම නෙමෙයි සතියට දවසක් හෝ දෙකක්.
මොන්ට්සෝරි වෙනුවට කලින්ම පාසැල් යන වැඩෙත් නරක නැහැ වගෙයි. කලින්ම ඒ පරිසරයට හුරු වෙන එක වාසිදායකයිනෙ. මම එක වසරෙ ඉන්න කාලෙදි පන්තියෙන් බාගයක්ම වගේ පලවෙනි වාරෙදි ඇඩුව අම්මල ඉස්කොලෙන් ඇරලල යද්දි.

පුර සඳ said...

පුරුදු වෙන්න ඉස්කොලෙ යන කාලෙ මට තිබුනා කුඩයක්.. අගින් මිට නැවිච්ච ළමා කුඩයක්... මමයි කුඩෙයි එක උස.. මං ඇඬුව බවක් නම් මතක නැහැ.. මොකද අම්ම හිටියෙ පේන දුර.. පුංචි කමට මං බලනවා වෙරළු අහුලන්න එහෙම යද්දි අම්මා අහළක ඉන්නවාද කියලා.. මොකද?.. අර අත්දුටුවයි.. ප්‍රත්‍යක්ශයි අව්ශදය හැම වෙලාවෙම on-call duty හිටිය නිසා...

Anonymous said...

මමත් මොටිසොරි නැතුව කෙලින්ම ඉස්කොලෙ ගියෙ. ඉස්සර වෙලාම 13 පන්තියට. අම්මා ඉගැන්නෙව්වෙ A/L. ඉට පස්සෙ 1ට. මමත් 1 වසරෙ අවුරුදු 2ක්ම හිටියා.ඉට පස්සෙ ඇත්තම 1 වසරෙදි මට සාමා, අමර එපා වෙලා හිටියෙ?

විශ්මි said...

මමත් මොන්ටිසෝරි නම් ගියෙ නෑ..... කෙලින්ම ඉස්කෝලෙ..... අක්කා තමයි අකුරු කියල දුන්නෙ ගෙදර ඉඳන්ම...... ඉස්කෝලෙ ගිය පළවෙනි දවස යන්තමට මතකයි.... කොඩිතුවක්කු කියල හරිම කරුණාවන්ත මිස් කෙනෙක් හිටියෙ...ස්තුතියි ආයෙමත් ඒ අතීතෙට එක්ක ගියාට.....

පුර සඳ said...

@ anonymous & Chanaka හෙරත් මිස් ගෙ පංතියේ කලින් නම හෝඩිය.. ඒ මං පුරුදු වෙන කාලෙ.. ඊට පස්සෙ දිමුතු අක්කලා ගියෙ එකේ පංතියට... පුහුණුව හරි කියලා මා ව හරියටම බඳවා ගන්න හෙරත් මිස් කැමති උනාට පස්සෙ මං කැමැත්ත දුන්නෙ නැති නිසා බෙල් එක ගහන සීලවන්ස අංකල් අපේ පංතියේ බෝඩ් එකත් "1" හැටියට වෙනස් කලා. දැන් ඒක හෝඩිය නෙවෙයි.. 1 වසර.. මටම කියලා අළුතෙන් "එකක්" හදපු එක ගැන මට පහන් සිතක් ඇති උනා... සෑහෙන කාලෙකට පස්සෙ තමයි මං දන්නෙ පද්මා මිස්ගෙ පංතියේ බෝඩ් එක 2 වසර කියලා වෙනස් කරලා බව...

එහෙම හොර වැඩ කරන්න සීලවන්ස අංකල්ට වටිනවද?

පුර සඳ said...

@ පිස්සා ...... පියනෙන් වහගෙන විතරක් නෙවෙයි.. බටරුයි සීනියි එක්ක පාන් කාලා කටවටේ තියන සීනි කැට ටිකත් පිහිද ගන්නවා අනිත් අය පෙරේත කරයි කියලා (ලැජ්ජා හිතෙනවා අප්පා...) ;-)

said...

මාත් අවුරුදු4න් ඉස්කොලේ ගියේ. අනික් අය දෙකට යනකොට මාව එකේ තියන්න හැදුවට මම අඬලා අඬලා එයාල එක්ක 5 වසරට යනකම්ම ගියා. අන්තිමේ වෙන ඉස්කොලෙක 4 වසරට අවිත් තමා අවුල විසඳුනේ

said...

මේ Word Verification එක අයින් කරන්න බැරිද?

පුර සඳ said...

@ ම.. අර පේර කෝටුවට පිං සිද්ධ වෙන්න මං මුළදිම පසු බැස්සා..

බුද්ධි said...

අපේ අම්මත් චානකයගේ අම්මා වගේ ටීචර් කෙනෙක්. හැබැයි අපේ අම්මා ඉස්කෝලෙ යන්න ගත්තෙ මට පස්සෙ. අපේ නංගිට නං මොන්ටිසෝරි යන්නෙ නැතුව අවු 3/4 ඉදලම ඉස්කෝලෙ යන්න චාන්ස් එකක් හම්බ උනා ඒක හින්දා.අපේ නංගි අපි වැඩි පුර නොයන ස්ටාෆ් රූම් එකෙත් හරි හරියට මිස්ලා සර්ලා එක්ක ඉදගෙන ඉන්ටවල් එකට කෑම කනවා ඒ කාලේ මං ඉරිසියාවෙන් බලං හිටියා. :D

පුර සඳ said...

@ බුද්ධි... මම අර බටර් පාන් කැමට අමතරව.. 11.30 ටද කොහෙද ඉස්කෝලෙ අරුනාම ඔයාගෙ නංගි වගේ බත් කටවල් දෙක තුනක් අම්මට කියලා කවා ගන්නවා. .. ස්ටාෆ් රූම් යනවා ඒත් ඉඳ ගන්න තහනම්.. මොකද ඒකෙ තියෙන්නෙ ගුරු පුටු... ඉතින් මම මේසෙ දාරෙ අල්ලගෙන එහාටත් ඇවිදිනවා.. මෙහාටත් ඇවිදිනවා...

හා පැටික්කි (MS) said...

හා පැටික්කිගෙ අම්මත් ගුරුවරියක් හැබයි මං නම් පිලිවෙලට ගියා..... මගෙ 1 වසරෙ ටීචර් අම්මා ඒත් මං කවදාවත් අම්ම කිව්වෙ නෑලු ටීචර් මිසක්....
@ බුද්ධි
අපෝ ඔයාට ස්ටාෆ් රූම් ගියානම් හිතෙයි නාවනම් හොඳයි කියල... ඔලුව කුරෝලු වෙලයි නවතින්නෙ.....

ජීවිතේමල් said...

හිකිස්...... හප්පේ.... මට හරි මතකයි අම්මි ඔයා පුරුදු වෙන්න ඉස්කොලෙ ගිය කතා පට්ට ගහනවා.... දැන් තමා නේද ඒ කතා වල නියම රසය තියෙන්නෙ ? හී හී.... අම්මපා පුරුදු වෙන්න ස්පෝට් මීට් ගිහින් නේද අර තව අකරතැබ්බයක් ගැන අම්මි කියන්නේ...? මොකක්ද ජිල් මැක්ස් එකක්... ඒකත් ලියාන්....

අර බාලයක්සයො බැජ් ගන්න ගිහිල්ල කලන්තෙ ඇල්ලුවේ... ඒ සිද්දිය නම් මට මතකයි.... ඒකත් ලියාන්...

හූ...හූ... මඩ ගොඩායි.... හු හූ....

:p

පුර සඳ said...

ඔහොම ඉන්නකො.. පටන් ගත්තා විතරනෙ... මට හැමදාම එක එක ලිව්වත් නාකි වෙනකං ලිව්වෑකි...

Post a Comment

හඳපානේ ඇවිදිද්දි එක් එක්කෙනාට හිතිච්චි දේ...