ලිංගික ශ්‍රමිකයන් නීතිගත වීම.. අනභිබවනීය ප්‍රයත්නය...

Comments: (4)
ලිංගික ශ්‍රමිකයන් හා ඔවුන්ගේ මානව හිමිකම් ගැන W3lanka ලියපු දේ අඹගහ යට ඉඳන් කියවද්දි ... ආහ්හ්හ්!!!!


මෙහෙම හිතන්න... ඔන්න සඳුදා.. ඔක්කොම පත්තර වල, ටීවී වල.. රේඩියො වල නෙට් එකේ මෙකී නොකී සියලු තැන් වල ලිංගික ශ්‍රමිකයින්ගේ ඡායා රූප පළ වෙනවා.. මාධ්‍ය සාකච්ඡා පැවැත්වෙනවා.. මාධ්‍ය වේදීන්, මාධ්‍ය ලෝලීන්, ප්‍රකාශකයින්.. ප්‍රේක්ෂකයින් ෆුල් බිසි වෙනවා..


ඔය අතරෙ.. බස් ස්ටෑන්ඩ් වල පාර තොටේ රට වටේ ගැහැණු පිරිමි දෙපක්ෂයම එකතු වෙලා හැම ගැහැණියෙක්ගෙම මූණ හිස් කබළේ ඇට මිදුළ දක්වාම තමන්ගෙ ඇස් දෙකෙන් ම ස්කෑන් කරනවා..මොකද.. අර මාධ්‍ය වල තිබ්බ තහනම් ගහේ ගෙඩි කාපු ගෑණියෙක්ගෙ පිංතූරයක්ද කියලා බලන්න.. ඔන්න සඳුදත් ගෙවෙනවා.. රටම ෆුල් බිසි මූඩ් එකක නින්දට යනවා..



ඔන්න අඟහරුවාදා....අපෙ රටේ මානව හිමිකම් යථා පරිදි සිද්ද වෙනවා.. ඔන්න නඩු කාර හාමුදුරුවෝ යුක්තිය පසිඳලනවා.. ඊට පස්සෙ ලෝකයේ පැරණිම වෘත්තියේ ඇති වටිනා කම සහ අයිතීන් හඳුනාගෙන ලිංගික ශ්‍රමිකත්වය නීති ගත කරනවා..
(මේ අතරෙ කසු කුසු පැතිරෙනවා.. අහවලාගෙ අහවලා ත් ඔතන ඉන්නවා.. එයාගෙ පිංතූරෙත් තිබිලා තියනවා.. ඒකයි ඔය බේරගන්න සපෝට් කරලා තියෙන්නෙ )
 
 
ඔන්න ඉතිං ලන්කාවට වසන්තය උදා වෙනවා.. අඟහරුවාදා හවස් වෙද්දිම වගේ.. සියලුම ආයතන ඕටී එපා කියා රෑ දෙගොඩහරිය වෙනකම් ක්‍රම සම්පාදනය කරනවා.. වෘත්තීය මට්ටමකින්මිල පාලනයකට යටත් කරනවා.. සම්මත මිලක් උස බර වයස පෙනුම අනුව මානයකට අනුව තීරණය වෙනවා.. ගෙදර යන ගමන් අඩුම බඩු මිලටත් වඩා අඩු මිලක් තීරණය වෙනවා..
 
 
කඩිනම් සේවයක් විදියට වහාම බ්‍රේකින් නිව්ස් වලට පණිවිඩ යවනවා.. තීරණය එනකම් පත්තර අච්චු ගහන එකත් නවත්තනවා.. ඔන්න තීරණය එනවා..
 
අදාළ ඇමැත්තා පුද්ගලිකවම මැදිහත් වෙලා මාධ්‍ය සාකච්චාවක් කැඳවනවා... "ඔබ ඇමතූ දුර කතනයෙන් ... චාරයක් නොමැත"...  "The number you dialed cannot be contacted right now.. please try again later" ... "out of the coverage area" වගේ පිළිතුරු ලැබෙනවා... රිං වෙලා රිං වෙලා නවතිනවා.. ෆුල් මල්හෝන්!!
 
ඇමැත්තා ඔලුව කහ කහ කල්පනා කරනවා.. මොකද තමන්ට තියන ජාතික වගකීම එතුමා දන්නවා.. මේ සියළු පුරංගනාවන් රෙජිස්ටර් කරන්න ඕනෙ.. සේවය ලබා ගන්න කැමති අය වෙනම රෙජිස්ටර් කරලා පෝමිට් එකක් දෙන්න ඕනෙ... ඊ ළඟට එන ප්‍රශ්න..?????? හොර පෝමිට් ඉල්ලන් එන චන්ද දායකයො මුදලාලිලා... අන්තිමට අමාරුවේ වැටෙන්නෙ අපේ ඇමති තුමා..
 
මේක පළ කරගන්න මාධ්‍ය වේදියෙක් සම්බන්ද කරගන්න නැති හැටි!!!
 
  මේ අතරෙ සියළු ම ලංකාවට සෙවා සපයන චන්ද්‍රිකා වලින් ඇලර්ට් නිකුත් කරනවා..



රටේ ශ්‍රම හමුදාව මධ්‍යම රාත්‍රිය නොතකා සරල රේඛාවක් ඔස්සේ හිටන් ඉන්නවා.. මේ ආරන්චිය ආව ගමන් ලෝකෙම බය වෙනවා.. තිස් වසරක යුද්ද්යක් නිමා කරල ජාතික සමගිය පෙන්නපු ඉන්දියන් සාගරයෙ මුතු ඇටය.. !!!!!


කිසිම සහායකයෙක් නැති තැන ඇමති තුමා හාමිනේවත් නැගිට්ටවගෙන මේ කියන මිනිස් සරල රේඛාව සොයා යනවා..
 
 



හත් දෙය්යන්ටම ඔප්පු වෙච්ච වෙලාවෙ කිරි අප්පට බල්ලො පැනලලු.. කිරි අප්පත් පෝලිමේලු... පුවත පළ වෙන්න කලියෙන්ම පෝමිට් පෝලිම හැදිලා.. හෆොයි!!!!!!!!

මා ඇගයූවාට තුති!!!!

Comments: (1)
දිගටම ලියන්නම් කියලා කය්යක් ගහලා ආයෙත් වැඩ අල්ලුවාට මොකද, යනින් එනින් ගමන් මිසක පුර හඳ දිහා බලාගෙන හිතේ තිබිච්චි දේ බ්ලොග් කරන්න වෙලාවක් නැතුවම මාස දෙකක් විතර ගිහින්...


ඔය අතරෙ වැඩිය නොලියපු මාව ඇගයීමකට ලක් කළාට ටැබූ ට බොහොමත්ම ස්තුතියි!!!
 
 
 
මේ සංචාරය යන්න මගේ හිත තුළ මුල් ගල තිබ්බෙ ජීවිතේ මල්... ඇය සිංහලෙන් ටයිප් කරන්න පුලුවන් බව මට කියා නොදෙන්න ට, යුනිකෝඩ් පද්ධතිය මගේ මැෂිමට දමා නොදෙන්නට පුර සඳට ලියන කතා කියවන්නට කාටවත් බැරි වෙයි.. එහෙනම් ටැබූට මාව හම්බෙන්නෙත් නැති වෙයි.
 
එදා පොත් ප්‍රදර්ශනයෙදි කෙහෙල් කොටුවෙ චූටි මහත්තයා ආයෙත් ලියන්න කියලා කරපු ආරාධනාව පිලි ගත්තට මොකද ආයෙත් ලියන්න ගැම්ම ආවෙ දැන්!!


ඉතිං නැවතත් ස්තූතියි!!

ආයෙත් හඳ පානෙ රස්තියාදු ගහන්න හිතුනා...

Comments: (10)
මාස ගානක දිගු නිහැඬියාවකට පස්සෙ.. හරියට සහරා කාන්තාරෙට වැටිච්ච අනියම් වැස්සක් වගේ පොත් ප්‍රදර්ශනේ.. මං හිතන්නෙ මාස ගානක කුණු කන්දල් ඔලුව ඇතුලෙ එකතු වෙලා තියන වෙලාවෙ තමයි "ජීවිතේ මල්" එක්ක බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාව පැත්තට ගියෙ.. මීහරක් බානක් දාලා අදින තරම් දැවැන්ත වේගෙකින් ධාවනය වන 154 ක නැගලා BMICH එක ළඟින් බහිද්දි තිබ්බ අන්තිම ධෛර්ය බිංදුවත් හේබාලා ගිහිං තිබ්බෙ..


ඒත් ආයෙත් පුර හඳේ රස්තියාදු ගහන්න motivate වෙච්ච re-union එක උනේ ඔතනදි... ඒකට re-union කියන්නත් බැහැ.. මොකද "re" නම් කලින් හම්බෙලා තියෙන්න එපායැ?
ඉතිං මං තාම කිව්වෙ නැහැ නොවැ මොකද්ද මේ හමුවීම කියලා.. ඒ තමයි මං රෑට රෑට හඳපානෙ රස්තියාදු ගහද්දි හම්බෙච්ච පෑනෙ (cyber) මිත්‍රයෝ ටික..
කෙහෙල් කොටුවෙ චුටි මහත්තයාවයි මැරියන්වයි නම් මං ඈත තියා හඳුන ගත්තෙ විදේශ චිත්තර ශිල්පියාගෙ දක්ශතාව නිසාමයි.. වැප් ඇතුළු කට්ටිය සරසවි එක ඉස්සරහ හම්බෙලා තාවකාලිකව විසිර යද්දි උනත් මූඩ් එකෙන් බාගයයි හරි ගිහින් තිබ්බෙ... ඊළඟට මායි ජීවිතේ මලුයි තාවකාලිකව විසිරිලා ගියා ..
ඊ වෙද්දි මට තිබ්බෙ පරණ කාර් එකක් තල්ලු කරලා ස්ටාට් කර ගත්තා වගේ හැඟීමක්.. ඒත් ගියර් දාන ලීවරය හොයා ගන්න බැරිව හිටියෙ..
ඔන්න ටික වෙලාවකින් මං "දෙවියන්ගෙ අඩවිය" ට (අනුල ද සිල්වා පරිවර්තනය කළ ."Not without my daughter") ගොඩ උනා.. වරුණාව වෑස්සෙන තල මලක් යට ( කටුගම්පල තල මල වරුණ - ජිනදාස දනන්සුරිය ) ඉඳගෙන සියක් අවුරුද්දක ඕප දූප,  ( සියවසක පුවත්පත් සිරස්තල - අනුරාධා මළලසෙකර ) ටිකක් කියෙව්වෙ "ස්වයංජාත" (සමරවීර විජයසිංහ - 2008 ස්වර්ණ පුස්තක රාජ්‍ය සම්මාන  ) එක්ක තිත්ත කෝපි ( අනුල ද සිල්වා සිංහලට නැගූ Christine Wilson ගේ Bitter Berry )  එකක් බොන ගමන්...

පොත් කීපයක හිමිකාරත්වය හිමිවීම මගින් මානසික ආතතිය දුරු වෙන බව මං මීට කලින් දැනං හිටියෙ නැහැනෙ.. ? ෂිහ්!!! හැබැයි කලින් දැන ගත්තනම් මේ වෙද්දි මං ලෝකෙ ලොකුම පොත් එකතුවේ හිමි කරයා වෙලා ගිනස් පොතටත් ගිහිං... අපරාදෙ..
ගියර් ලීවරය හොයා ගෙන ෆස්ට් එකට දැම්ම වගේ හැඟීමක් මට ඇති උනා...
ඊට පස්සෙ රන්දිල් ගෙ උපන්දිනේ සමරන්න චොකලට් කේක් එක්ක චොකලට් මිල්ක් එකකට කට්ටිය සෙට් වෙච්ච මොහොත අමතක කරන්නම බැහැ..
ඔන්න ඉතින් ඔතනදි තමයි හරියටම හෑන්ඩ් බ්‍රේක් එක නිදහස් කරලා හඳ පානෙ රස්තියාදු ගහන්න ආයෙත් සිතිවිල්ල මගට බැස්සෙ...


හිතෙන්නෙ එක දෙයයි.. "ස්තූතියි!!"

දරු සෙනෙහසට කව් ගී ලියවුනා මදී...........

Comments: (14)
ඉතාම සිත්ගන්නා සුළු සංවේදී ගීයකින් "පිය සෙනෙහසට කව් ගී ලියවුනා මදී" කියලා මලිනි ජයරත්නයන් කියනවා.. ඒත් "යෝද ඇලේ වීරිය වුන අප්පච්චී" "ගෙඩි සියයක් බිම හෙලුවත්" "මිදුලේ වැලි මාලිගාවෙ" වගේ ගීත මට මතක් වෙනවා..


හැබැයි දරු සෙනෙහසට නම් කව් ගී ලියවුනා හොඳටම මදී...... මට එහෙම කියන්න හිතුනා. මම කියන්නෙ දරුවන්ගෙ හිතේ අම්මා තාත්තා ගැන උපදින ආදරය ගැන.. ඒකට කියන වචනයක්වත් තියනවාද කියලා මට ඔලුවට එන්නෙ නැහැ.. "දරු සෙනෙහස" කියන්නෙත් දෙමව්පියො දරුවන්ට දක්වන ආදරයට..


මං දන්න "දරුවන්" 75% කට වඩා වැඩි ප්‍රමාණයක් තමන්ගෙ දෙමව්පියන් වෙනුවෙන් සාමාන්‍ය රටාවෙන් ඔබ්බට ගිහිං කැප කිරීම් කරන අය... පුංචිකාලෙ අම්මලා තාත්තලා දීපු දෙවල් වලට මානසික ණය ගෙවන අය.. බොහෝ දෙනා ඉතා ඉහළ පොලී අනුපාතික වලට යටත් වෙලත් සතුටින් ඒ දේ කරන අය.. (ඔයාලා එකඟ වේද මන්දා? )


මං ඊයෙ සෙනසුරාදා දවසෙ හිමීට කල්පනා කරලා බැලුවා මේ ගැන.. මේ කිසිම දෙයක් සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවෙන් ගත්ත දත්ත නෙවෙයි... පුද්ගලිකව මං දන්නා අඳුනන "දරුවන්" ගෙ ලිස්ට් එකක් හදලා පොඩි සර්වේ එකක් කරලා බැලුවා... ඒකෙ ප්‍රතිඵල තමයි ඔය කිව්වෙ..




"මහළු දෙමව්පියන් වැඩිහිටි නිවාස වලට යැවීම කියන්නෙ සමාජමය ප්‍රස්නයක් බවට පත් වෙලා.." දෙමව්පියන් ගැන කතා කරද්දි ඕක තමයි හොඳටම මාකට් කරන්න පුළුවන් කතාව...
 
 
 
තවත් කියනවානම් "ඒ නිසා ආච්චිලා සීයලා දරු මුණුබුරන්ට දෙන සුන්දර ළමා අත් දැකීම අපේ දරුවන්ට නැති වෙලා.. " කතාව මෙහෙම දිගට දිගට යන්න පුළුවන්..
 
 


මං පහුගිය අවුරුදු 10-12 කාලෙ අරන් බැලුවා... (මේ කාලෙ මගේ රාමුව විදියට අහු වෙන්නෙ මේක මං වැඩිහිටි "දරුවෙක්" විදියට ගත කරපු කාලෙ නිසා වෙන්න ඇති ) දරුවන් ලොකු මහත් වෙද්දි.. දෙමව්පියෝ උන්ගෙන් "නිදහස්" වෙන කාලෙ වෙද්දි, ඔවුන් ආවේණික නොවුවත් එකිනෙකාට සුවිශෙෂී පොදු ගැටළු වලට මුහුණ දෙනවා...
 
 
දියවැඩියාව.. පිළිකා.. ඔත්පළ වීම්... නීතිමය ප්‍රශ්න.. මානසික ප්‍රශ්න.. රැකියා අහිමි වීම්... විශ්‍රාම වැටුප මදි නිසා තවත් රැකියා කිරීම්... දරුවන්ට දෙන දේ දුන්නාට පසු අසරණ අඩපණ වීම්.. මේ තියෙන්නෙ ප්‍රස්න වලින් සමහරක්...
 
 
දරුවන් බොහෝ දෙනෙක් ජීවත් වෙන්නෙ දෙමව්පියන්ගෙ මේ වේදනාව පපු කුහරයේ රඳවාගෙන.. ඔයාලා එකඟ වෙයිද මන්දා?


අනේ... කාටහරි පුළුවන්නම් මගේ හිතේ තියන ගීතය ලියන්න.............?
 

හාෆ් ෂීට් එකක් නැති පොලෝසිය... "හෙට එන්න"

Comments: (10)
මේක මට ගිය සතියෙ ඇත්තටම වෙච්චි එකක්...


මගේ ඩ්‍රයිවින් ලයිසම නැති උනා ටික කාලෙකට කලින්... ටික කිව්වට ටිකක් මත් නෙවෙයි. ඉතින් ඔන්න අපේ ආණ්ඩුවෙන් කාර් එහෙම ලාබ කළාට පස්සෙ.. මට ඔය ලයිසොමේ වටිනා කම ටික ටික තේරෙන්න ගත්තා..


දත් සිල්පය පෙන්නල තමයි ලයිසොම ගත්තෙ.. හැබැයි මට ඉන්න අර අණ්ඩපාල මල්ලි කියපු කේළමක් නිසා මට ඩ්‍රයිව් කිරීමේ වරම අහිමි උනා.. ඔය අහිමි වීමෙන් ටික කාලෙකට පස්සෙ ඉගෙන ගන්න රට ගියායින් ඔන්න ඉතින් සුක්කානම මට නොදන්නා මිත්‍රයෙක් බවට පත් උනා...ලයිසමත් එක්ක පර්ස් එක පොකට් ගහලා දැනට අවුරුදු අටක් විතර.. ඉතින් මේ වැල් වටාරම් ටික සංක්ශිප්ත කළාම කොටින්ම මට ලයිසන් තිබ්බට එලවන්න බෑ... ( හිකිස් )
 
 
මේ ලයිසම හදා ගන්න කියලා හිතලා දාන තුන්වෙනි පොලිස් එන්ට්ට්‍රිය දාන්න ඔන්න මම ගිය සතියෙ අහල පහල පොලිසියකට ගොඩ උනා..
 
 


පළවෙනි එන්ට්‍රිය දාද්දි නං එන්ට්‍රිය දාල කොපිය ගන්න මාසයක් විතර ගියා.. දෙවෙනි එන්ට්‍රිය දාද්දි ඔන්න කාබන් කොපියක් පහුවදාම දුන්නා..ඔය සිද්දි දෙකම උනේ නුවර..
 
 
 
මෙදා සැරේ ඔන්න කොළඹ මහනගර සභාවක එන්ට්‍රිය දැම්ම කියමුකො.. එන්ට්‍රියේ වචන 100 යි... ඒකෙ කොපිය ගන්න වචන 100ක විතර ලියුමක් ලියන්න ඕනෙ.. ඔන්න ඉතින් මං ලියුම ලියන හැටි හිතන ගමන් එතන හිටිය මිස් ගෙන් ඇහුවා හාෆ් ෂීට් කොලයක් ගන්න පුලුවන්ද කියලා... "හාෆ් ෂීට් කොළ නැහැ.. කබඩ් එකේ තියනවාද දන්නෙ නැහැ ලොක් කරලා තියෙන්නෙ...".. දැන් ඉතින් මොකද කරන්නෙ.. වෙලාව 4.00 යි..
 
 


මං ඉතිං ළඟම තියන යාලුවෙක්ගෙ ගෙදරකට ගිහින් කොලයක් ඉල්ලන් ලියුම ලියාගෙන ආවා.. 4.25 යි..පාලන අංශයට දෙන්න කිව්ව නිසා කෙලින්ම එතෙන්ට ගියා.. මේස පුටු 10ක් විතර කැරකෙන පංකා වලට යටින් තිබුණා.. කවුරුත් නැති නිසා එලියෙ කවුන්ටරේ හිටිය රාලහාමිගෙන් විමසීමක් කළා.. " දැන් 4.25ත් පහු වෙලා.. එයාලා නාන්න ගිහිං.. හෙට එන්න".. "සර් මං ජොබ් එකක් කරන කෙනෙක්.. පුළුවන්නම්..."                  "එක සැරයක් කිව්වනෙ හෙට එන්න" ..
 
 
රාළහාමිට "හෙට එන්න" කියන්නෙ වචන දෙකක් විතරක් වෙන්න පුළුවන්.. ඒත් මට? කෙටි නිවාඩුව.. අවසරය.. රැස්වීම්... උදෙන්ම කරන්න තියන වැඩ....?

තමන්ගෙ මූණට අනන්‍යතාවය ගැනීම හෙවත් මූණුපොත

Comments: (1)

පුරහඳපානෙ රවුමක් යන්න වෙලාවක් තිබුණෙ නැති පහුගිය කාලෙ කරපු ඔබ්සවේෂන් එකක් ගැන හදි හදිස්සියෙන් උනත් උඩින් පල්ලෙන් වගේ කියන්න හිතුනා.. අපි හැමෝම ඇඹළයෝ වගේ එල්ලිලා ඉන්න මූණුපොත ගැන...


අපිට සමහර අය හඳුනාගන්න වෙන්නෙ හරිම පුදුම විදියට.
1. බාගෙට දන්න අය වැඩිපුර දැන ගැනීම
2. කාලෙකදි බාගෙට දැනගෙන ටච් එකෙන් ඉවත් වෙච්ච අය නැවත හොඳින් හඳුනා ගැනීම
3.පොඩි කාලෙ යාලුවෝ ලොකු වෙලා හඳුනා ගැනීම

4.දන්න දන්න අය ගැන වැඩිපුර අප්ඩේට් වීම
5. දන්න දන්න අයගෙ දන්න නොදන්න අය හඳුනා ගැනීම
6. ප්‍රසිද්ධ අය සමග මිතුරුවීම... (සමහර විට ප්‍රසිද්ද නම් තියන ප්‍රොෆයිල් සමග )
7. මිතුරු සමාගම්, කණ්ඩායම්, වේගවත් පණිවිඩ ගනුදෙනු, වෙළඳ ගණුදෙනු...

මෙකී නොකී දහසක් දේ
 
 
 
මං දන්න දන්න හුඟක් දෙනෙක්ට මූණු පොතෙන් ආවාහ විවාහ අරමුණු සඳහා උදව් කරලා තියනවා.. මූණු පොත හරහා ඇති වෙච්ච විවිධ සම්බන්ධ කම් ගැන කතා බහක් පටන් ගන්න හිතුණා.. මොකද දන්නවද... මන් දන්න දන්න කීප දෙනෙක් ඉන්නවා මූණු පොතෙන් අන්ඩ්ධ වෙච්චි අය... කොච්චර කිව්වත් තෙරුම් නොගන්න අය.. තමන් ගෙ CV එකට වැඩියෙ FB ප්‍රොෆයිල් එක වැදගත් කියලා හිතෙන අය.. (හැබැයි මටනම් CV එකක් කියවනවාට වඩා ප්‍රයෝජනවත් ඩීටේල් FB එකේ තියනවා)
මේකෙ තව එපිසෝඩ් කීපයක් එයි.. එතකන් හඳපානෙ ඇවිදිනකොට හිතෙන දේ කියන්න...

සන්නා අම්මාට නොදුන් රොටිය.....

Comments: (15)
පමා වූ වෙසක් ගැන කිය කිය ඉඳලා හදිස්සියේ නැගිටලා ගිහින් අහපු කතාවක් මේක... කිව්වේ උපුල් ශාන්ත සන්නස්ගලයන් (සන්නා)... ටෝමලින් හෝටලයේ සිට මගේ විසිත්ත කාමරයේ හිටපු මට...




සන්නා විශ්ව විද්‍යාලෙ ඉඳලා ගෙදර ගිය දවසක.. පහුවදා උදේ නැගිටලා පිච්චර් එකක් බලන්න සන්නා හදි හදිස්සියෙන් ලක ලෑස්ති වෙනවා.. මේසෙ උඩ වහලා තිබ්බ ලොකු රොටියක් ගිල දාපු සන්නා එලියට බහිද්දි අම්මා අහළ තිබ්බ තේ කෑල්ලෙ දළු කඩනවා...
"පුතේ.........." අම්මා සන්නාට අඬ ගහනවා.... " රොටියක් උයලා වහලා ඇති... මටත් කෑල්ලක් තියලා, කාලා පළයන්" අම්මා සන්නාට කියනවා... ඒ වෙද්දි සන්නා මුළු රොටියටම වග කියලා ඉවරයි...


උඩුවේ ධම්මාලෝක හිමියන් වටාපතින් දෑස වසා ගත්තේ.. ඇඬීම අකැප නිසා.... ටී එම්, වීජමු, රෝහණ බැද්දගේ ආදීන් බිම බලා ගත්තා... මමත් ඉන්ට නෙට් එකට මුවා වෙලා එතනින් නැගිට්ටා..

"මේ ණය මං ගෙවන්නෙ කොහොමද?" සන්නා ප්‍රශ්න කරනවා මට ඇහුණා..

පමා වෙලා වෙසක්....

Comments: (0)
"අදරයේ උල්පත වූ අම්මා.. මා ඔබගේ පුතු වූ මොහොතේ.. ඔබ මතු බුදු වන දවසේ...... මහ රාහුල කුමරුන් සේ..." වික්ටර් රතනායක පුත් ජයන්ත මහනුවර ටෝමලින් හෝටලයේ සිට මගේ විසිත්ත කාමරයට ඇසෙන්න ගයයි...

මට වෙසක් ලබලා.. මුළු ලෝකෙටම වෙසක් ඊයෙ උනාට මට හරියටම වෙසක් අද... මට ඊයෙ පොළව පලාන යන්න ලැජාවක් උනා.... ඒක දන්නෙ මං විතරයි.. මේක කියෙව්වට පස්සෙ ඔයාලත් දන්නවා...


ඊයෙ මට වැඩ.. මග අරින්න බැරි රාජකාරී වැඩ... මට විතරක් නෙවෙයි.. මගේ විභාග අධීක්ෂක මණ්ඩලයත් වැඩ... විභාගෙ කරපු ළමයින්ගෙ හිත් වල මොනවා තිබුණද කියලා කියන්න හරියටම බැහැ...
 
 
ඉතින්හවස 4 විතර වෙද්දි තමයි මං පියවි සිහිය එළවගෙන වෙසක් ගැන හිතුවෙ.. බෞද්ධ කොඩියක්.. වෙසක් කූඩුවක්.. මල් පහන් .. පන්සල්.. අපෙ අම්මිත් ගල්කිස්සෙ ඇවිත් කියලා පණිවිඩේ ආවා දවල් වෙද්දි... මං ඉතින් බස් එකෙන් බැහැලා වට පිට බැලුවා.. කඩ ඔක්කොම වහලා උනාට පාරෙන් එහා පැත්තෙ පුන්චි කඩයක් ඇරලා.. බෞද්ධ කොඩි වෙසක් කූඩු ලෙළ දෙනවා.. මං වට පිට බලලා එක හීයට ඒ කඩේ ඇතුළට රිංගුවා..
 

අර කියපු ළජ්ජාව ඇතිවෙන්න පටන් ගත්තා...
මට මතක් උනා අපේ ගම්පළ ගෙදර තිබ්බ උණ පඳුර.. ඇඟිලි කපාගෙන උණ කූරු සුද්ද කරපු.. වෙසක් කොළ අලවන්න පාප්ප නා ගත්ත.. සිල් අරන් ගෙදර ඇවිත් ළමා සාරිය පිටින් වෙසක් කූඩු එල්ලපු කාලෙ මතක් උනා... ඊට පස්සෙත් කොහොම හරි වෙසක් එකට කූඩුවක් හදනවාමයි...
 


ඒත් මේ සැරේ... චික්... මාර ලැජ්ජාව.. වෙසක් කූඩුවට 150/=.. කොඩිය 100/=.. මං වට පිට බලලා කාටවත් මූන දෙන්නෙ නැතුව ත්‍රී වීලර් එකක නැගලා වෙසක් කූඩුවත් අරන් ගෙදරට පැන ගත්තා..
මං ගෙදර ආව ගමන් හිතේ තිබ්බ බරත් එක්කම වෙසක් කූඩුව පුටුවක් උඩින් තිබ්බා.. ඒත් පොඩි බයක් වගේ තිබ්බා.. මං හිතුවා වෙසක් කූඩුව කඩෙන් ගත්ත වරදට පවුළේ ගුරුතුමියගෙන් වෙසක් ධර්ම දේශනාව ෂුවර් කියලා..
 
 
ඒත් ඇය ගැඹුරු බැල්මක් දුන්නා විතරයි.. මං පුටු ඇන්ද අල්ලගෙන හිටගෙන බෑග් එක කරේ එල්ලගෙන ඉන්න ගමන් ඇගේ සුව දුක් ඇහුවා....අර පුටුව උඩින් තිබ්බ හිතේ බර පුටු ඇන්ද දිගේ මගේ අතට ගොඩ වෙලා නැවතත් මගේ හිත කරා ළඟා උනා...

ජයන්ත රත්නායකයන් අර සින්දුව කියන අතරෙ මට හිතුනෙ.... (හරියටම මොකද්ද ලියලා විස්තර කරන්න අමාරුයි වගේ)... ඒත් ඈ අපේ ජීවිත වල තියන (කමකය නැති ) බිසි ස්වභාවය තේරුම් අරන්ද කොහෙද මේ වෙන තෘත් නිස්සද්දයි..

"ටෝමලින් එකේ ලොබි එක ලස්සනයි" ඇය මට අඬ ගැහුවා.. හරියට ඛේමාවට දෙවුරම් වෙහෙරෙ ලස්සන කිව්වා වගේ.. "ටී එම් දොඩම්වල ඉස්කෝලෙට ගිහින් තියෙන්නෙ..." තවත් කැඳවීමක්.....


මං කියාගෙන ආව දේ ඉවර නැහැ.. ඒත් මදකට නැගිටින්නම්... තුන්වන  කැඳවීම එන්න කලින්..
 
 
 

පියාසැරි පුහුණුවේ GRADUATION එක

Comments: (3)

ඊයෙ උදේ බලද්දි අර ලොකු ළමයෙක් වෙච්ච පොඩි එකා කූඩුව පැත්තෙ කරක් ගගහ හිටියා.. පොඩි කමට මූ රස්තියාදු කාරයෙක් වෙලා ද කොහෙද.. ඔය ඉන්නෙ!!

ඊළඟ කතාව පටන් ගන්නෙ ඊයෙ රෑ... මං කෑම එක බෙදාගෙන ටීවී එක දාගෙන නිවාඩු පාඩුවේ ඉඳගත්තා.. අර පොඩි එකා කීක් කීක් ගානවා කණ අස්සෙ.. බැලුව බැලුවා පේන්න නැහැ..මෙන්න බොලේ මූ ළඟම තියන ජනෙල් ග්‍රිල් එකේ ඉඳගෙන ඉන්නවා.. ළඟට හරිම කැතයි..


මුගෙ අඳොනාව අහ ගෙන ඉන්න බැරිනිසා මං පිඟානත් අරන් කාමරේට අවා.. ටිකකින් ඔන්න ගාල ගෝට්ටියක් ඇහෙනවා... බලද්දි අම්මයි තාත්තයි පුතයි තුන්දෙනා වාද කර ගන්නවා.. ෆෑන් එක උඩ ඉඳගෙන..


පොඩි එකා එකට එක කිය කිය උනත් හොඳටම බැනුම් ඇහුවා... හොඳ වැඩේ.. !!!! ටික වෙලාවක් මෙහෙම රණ්ඩුව ගියාට පස්සෙ අම්මයි තාත්තයි පැත්තකට ගිහින් කුටු කුටු ගෑවා.. වෙලාව රෑ අටට විතර ඇති... බද වැස්ස..

මේ පින්තූරෙ නම් ඩිංගක්වත් පැහැදිලි නැහැ.. මේ දොරට උඩින් තියන බීරළු ළඟට වෙලා තමයි අර දෙමාල්ලන්ගෙ කුටු කුටුව ගියෙ..




ඊට පස්සෙ අම්ම ආයෙත් ඇවිත් පොඩි එකාට හිමීට පැහැදිලි කරලා දුන්නා... ඌත් ෆෑන් එකේ තට්ටක සී සෝ පැද පැද අහගෙන හිටියා... ඌටත් ඕනෙ වැඩේ කර ගන්න නෙ.. තක්කඩියා!!!





ටික වෙලාවකින් අම්මයි තාත්තයි එකතු වෙලා පුත්‍රයා ව රෑ කියලා බලන්නෙ නැතුව ... බද වැස්සෙ පිනි බබා එක්කරගෙන ගියා..



ප.ලි.: මේ පෝස්ට් එක දාන්න ගත්තෙ ඊයෙ රෑ... නවත්තන්න උනෙත් පොඩි එකාගෙ අන්ඩපාල වැඩක් හින්දා... ඒ ටික ඊළඟ එපිසෝඩ් එකට දාන්නම්..











එයා දැන් ලොකු ළමයෙක් හෙවත් පියාසැරි පුහුණුව...

Comments: (4)
අර අපේ ගෙදරට ආව අනවසර පදිංචි කාරයෝ ගැනයි.. කොහෙන්ද ඒ පොඩි නෑදෑයෝ ගැනයි මං ඔයාලට කිව්වනෙ...
ටික දවසකින් තමයි දන්නෙ නෑදෑයෝ කිව්වට එක්කෙනයි කියලා.. ඉතින් අද උදේ බලද්දි මහා කළබගෑණියක්.. මං හිතන්නෙ පුන්චි එකා දැන් ලොකු ළමයෙක් කියලා අම්මටයි තාත්තටයි හිතෙන්න ඇති.. බැලින්නං ඇත්ත තමයි.. ඌ අහුරක් විතර ලොකු වෙලා..

මේ ඉන්නෙ ලොකු ළමයෙක් වෙච්ච පොඩි එකා..



මං ඉස්සෙල්ලාම දැක්කෙ අම්මා ඉඳගෙන පුන්චි එකාගෙ අත් තටු හොටෙන් හැඩ කරනවා.. ඊට පස්සෙ කකුල් වලට කොට කොට සුද්ද කළා.. අම්ම ඉගිල්ලිලා ගියාට පස්සෙ පොඩි එකා ලතෝනි තියන්න පටන් ගත්තා..





මෙන්න මෙහෙම තමයි අම්මා පිහාටුයි කකුල් දෙකයි සුද්ද කරලා හැඩ කළේ..



ඉතින් ඔන්න අම්ම මයෙ හිතේ තාත්තටත් කේලම කියලා එක්කන් ඇවිත්... දෙන්නගෙම හොටේ කෑම.. අම්මා ඉස්සෙල්ලාම ගිහින් ආදරෙන් කැව්වා..
 
හබුං කටයි පණු දෙකටයි..!!! උසි කපුටෝ උසී.....!!!!
 
වෙනදාට වඩා අද කෑම ලෝඩ් එක අඩුයි.. ඔන්න ඉතින් පොඩි එකා ඒ ටික කාලා ආයෙත් ලතෝනි දෙනවා.. ඒ ගමන තාත්තා ඉස්සරහට ඇවිත් ටිකක් ඈත ඉඳලා කෑම පෙන්නලා නොපෙන්නලා වගේ පොඩි උන්නැහෙව ඇවිස්සුවා.. ආයෙ ඉතින් ඉඳලා ඉවරයි..
පොඩි එකත් අත ඇරියෙ නැහැ.. හැකි වෙර යොදා කූඩුවේ හිටගත්තා.. තාත්තා එ ඉක්මණට කිට්ටු උනා... මොන මොනවදෝ හයියෙන් හය්යෙන් කිව්වා...
 
තාත්තගෙ කුරුළු අත්දැකීම් ගැන පාඩමක්..
 
ඔන්න පොඩි එකාට හති... ඒ ගමන තාත්තා ගෙනාපුවායින් කොටසක් කන්න දුන්නා... දැන් මද විරාමයක්...
 
මෙන්න පොඩි එකා මර හඬ තලන හැටි..




විනාඩි කීපයකට පස්සෙ ආයෙත් ගෝසාව... ටික ටික පොඩි එකාට කන්න නොදී කෑම පෙන්න පෙන්න ගත කරන කාලෙ වැඩි උනා...

මට තේරුණා මේක පියා සැරි පුහුණුවක් කියලා... මාත් ඉතින් බලාන හිටියා..
ඔන්න ඉතින් ඔහොම යද්දි.. කෑම කටට දාන්නෙ නැතුව කූඩුවේ ගැට්ටෙන් තිබ්බා... ඊළඟ සැරේ ජනෙල් ග්‍රිල් එකේ උඩින් තිබ්බා.. ඒ සැරේ පොඩි එකාට සිද්ද උනා බෙල්ල දික් කරලා කන්න.. ඌ බිම බැලුවා විතරයි මර හඬ තලාගෙන කූඩුවට ගුලි උනා..
 
මේ තියෙන්නෙ මං බොහොම අමාරුවෙන් ගත්ත පවුලේ පින්තූරෙ..


තාත්තයි අම්මයි දෙන්නම ඌට කණ පිරෙන්න හොඳවයින් දෙකක් කිව්වා.. පොඩි එකා බිමට වැටෙයි කියන බයට මම පාපිස්සක් දැම්මා..
 
ඔය අතරෙ නිකම යාම බලා ගන්න දැඩි උවමනාවක් තිබ්බත් ෂෝට් ලීව් එක හාෆ් ඩේ එකක් නොවී බේර ගන්න මට නික්ම යන්න උනා..


හවස මං එද්දි, මං දාපු පාපිස්ස එහෙමම තිබුණා.. ඒ උනාට ඒ පැත්තෙ පාළුව පිරිලා.. හරියටම බලල කියන්න තරම් මම උස නැහැ.. හවසත් හිටියා කියලා "ජීවිතේ මල්" කිව්වා..

ඒ උනාට නීකමට හරි එකට හිටිය අයට කියලා යන්න තිබුණා නෙ?