අනවසර පදිංචි කරුවන් සමග සාමයෙන්...

කාලෙකින් හඳ පානෙ රවුමක් යන්න බැරි වෙච්චි එකේ පෝය දවසෙ උදෙන්ම ඉඳගත්තා කවුළුව ළඟ...


මේ දවස් වල මට පුංචි වැඩක් හින්දා බිසි උනා.. මොකද අපේ ගෙදරට අනවසර පදිංචි කාරයෝ දෙන්නෙක් ඇවිත්...ඒක තනිකරම බලහත්කාරයෙන් වෙච්ච දෙයක්..

අපි මීට මාස කීපෙකට උඩදි ගල්කිස්සෙ ගාලු පාරට ඇවිදින දුරින් ගෙයක් කුළියට හොයා ගත්තෙ දෙය්යනේ කියලා නිදහසේ ඉන්නයි... මාස කීයද ගියෙ.. ?

දවසක් මං අහම්බෙන් දවසම ගෙදර හිටිය දවසෙ මට ඇහුණා සාලෙ දොර ළඟ කච කච ගාලා ඝොෂාවක්..
බලද්දි දෙන්න දෙමහලෝ දෙන්නෙක් පදිංචියට තැනක් තෝර ගන්න බැරුව අඩව් අල්ලනවා.. සාලෙ ජනෙල් හතරෙ පියන් අඩවල් කරලයි තිබුණෙ.. දෙන්න ජනේලෙට හේත්තු වෙලා මහ හඬින් කතාව.. මට තේරුණා එන පොට එච්චර හොඳ නැහැ කියලා.. මං පේන මානෙට ගියා.. මොකද කුළියක් ගෙවලා ගෙයක් ගත්තෙ පාඩුවේ ඉන්නනෙ...
දෙන්නා එසැනින් නොපෙනී ගියා.. ඒ උනාට මං වැඩක යෙදෙන අල්ල පනල්ලෙ ඕන කරන බඩු මුට්ටු ටික ළං කරගෙන තිබුණා.. තමං ගෙ පාඩුවේ ලැගල ඉන්න තැනක් හොයා ගන්නවා වගේ නෙවෙයිනෙ.. අර ළන්කර ගත්ත බඩු මුට්ටු වල සුන් බුන් වලින් පළාතම වනසලා..
අලුත් ජෝඩුවක්නෙ.. තාම මධු සමය වෙන්න ඇති.. මං අනුකම්පා කරලා එදා හවස සුන් බුන් ටික අස් කරලා දැම්මා.. මොකද අපිටත් ඔය වගේ කාලයක් තිබුණනෙ.. අළුත් ජෝඩු වලට පදිංචියට තැනක් ගැන එකඟ වෙන එක තමා අමාරුම කාරණේ...
ඉතිං දෙවෙනි දවසෙ ගෙදර එද්දි.. ජනෙල් ග්‍රිල් එකක ගැටයක් ගහලා මොකද්දෝ සෙල්ලමක් දාලා.. මං ඒත් ඉවසලා හිටියා.. මං දැක්කා හවස් අතේ මාව ගනන් ගන්නෙ නැතුව වගේ ඇවිල්ලා අර ගැටේ තියනවාද ගියලා බලලා.. අහක බලාගෙන යන්න ගියා..


පහුවදා නිවාඩු දවසක්.. උදේ තේක බොන ගමං නංගියි මායි කතා කළේ මේක මාර වැඩක් නෙ කියලා.. අපිට ඒ ගොල්ලොත් එක්ක හවුලෙ ෆෑන් එහෙම පාවිච්චි කරන්න අමාරුයි.. මොකද සාලෙ ෆෑන් එක ෆුල් දාන එකක් නෙ..

හවස මං ගෙදර එද්දි නංගි ෆෑන් එකෙ ස්විච් එකට සෙලෝ ටේප් එකක් ගහලා තිබුණා.. මොකද අපි එකඟ උනා මෙයාල ඉන්නකං සාලෙ ෆෑන් එක දාන්නෙ නැහැ කියලා.. කවුරු හරි වැරදීමකින් හරි දැම්මොත් අපි ගත්ත තීරණය වැඩක් නැහැනෙ..


ඊට පහුවදා ගෙදර එද්දි වැඩේ හරි.. සියල්ල සංවිදානාත්මකව සිද්ද වෙලා තිබුණා.. වෙනම ගේ කෑල්ලක් හදා ගන්න අත්තිවාරම විතරක් නවෙයි බිත්තිත් නග්ගලා.. මදැයි..
 
ඩබල දන්නවා කළ වැඩේ බරපතල කම.. මේක දෙහිවල ගල්කිස්ස මහ නගර සභා සීමාවනෙ.. අනවසර පදින්චිය ගැන හුඟක් සැළකිළිමත්.. අපි ඉතිං කම්ප්ලේන් කරන්න ගියේ නැහැ.. මොකද කට උත්තර ගන්න නගරාධිපතිට මෙයාල පස්සෙ යන්න බැහැනෙ..


දැන් සෑහෙන දුරට ගෙයි වැඩ ඉවරයි.. හෙට අනිද්දම පහිංචියට එයි.. කුළියක් ගන්න විදියක් නැහැ.. මොකද මේ ගෙට ගහපු ඇග්‍රිමන්ට් එක අස්සන් කළේ ලෝයර් කෙනෙක් ළඟ.. ඒකෙ පැහැදිලිව තියනවා නැවත කුළියට දෙන්න අපිට බැහැ කියලා... ඒ උනත් පිනට අහක යන ජෝඩු වලට ලගින්න දෙන්න බැහැ කියලා කියලා නැහැනෙ.. මං බදු ගිවිසුම කියවලා බළුවා.. එහෙම එකක් නැහැ..
අද උදෙත් ඇවිත් නක්කලේට වගේ මගෙ වටේ ර්වුමක් ගහලා ගියා.. බලමුකො..


ආහ්.. මං ඔය අතරෙ හදිස්සියට හරි ඕන වෙයි කියලා එයාලට හොරෙන් පිංතූර කීපයක් ගත්තා.. ඔය තියෙන්නෙ ඒව ටික..

මේ තියෙන්නෙ ඉස්සෙලාම දවසෙ ගහපු ගැටේ..

මේ තියෙන්නෙ ගැට ගහන්න ගිහිං අතේ මාට්ටු වෙච්ච හැටි. ("මොකද කට උත්තර ගන්න නගරාධිපතිට මෙයාල පස්සෙ යන්න බැහැනෙ.. ")



කැදැල්ල ඉන් ප්‍රොග්‍රස්...


මධු සමයෙදිම ගැබ් බර වෙච්ච ආදරණීය බිරිඳට ඕනෙ මිමි වලට කැදැල්ලේ හැඩ රුව තීරණය කරන හැටි..


මේ අද උදේ.. දැන් සෑහෙන්න ගෙයි වැඩ ඉවරයි.. අද හෙට පදිංචියට එයි..


 
 
බබ්බු හම්බෙන්න ඉද්දි ගෙවල් හදන්න හොඳ නැහැ කියන්නෙ ඇත්තද මන්දා...? ඔය හදලා තියෙන්නෙ...!!!

6 comments:

මිත්‍රයා said...

ෆෑන් එකේ කතාව තේරුණේ නෑ නෙව....
ජීවිතේමල් මිස් මට බනී ද දන් නෑ බ්ලොග් කියෝකියෝ ඉන්නවා කියලා.O_o

පුර සඳ said...

මිත්‍රයා.. මෙයාලා ජෝඩු දාලා දොරට උඩින් තියන බීලළුව අස්සෙන් රූං ගාලා එද්දි ෆෑන් එකේ වැදුනොත්..?

ජීවිතේ මල් said...

හිකිස්....

හෆොයි.. මතකනේ අපේ agreements.. හි හි... NO FANS!
මොනා උනත් සහෝදරී අවතැන් වෙච්ච අහිංසකයො දෙන්නෙක් නොවැ...

මන් හිතේ තුන්වෙනියෙකුත් enter වෙයි... ගැරඬි රාජයෙක්...
කමක් නෑ... මගෙ favorites නෙ... :) ඒත් ඔන්න මගෙ කාමරේ අස්සෙ නම් හදා වඩන්න බැහැ ඕන්.... හික් හික්....

එහෙනම් මේ කොන්ඩයයි කොන්ඩිච්චියි ( කොන්ඩ කුරුල්ලයි හාමිනෙයි) අන්තර්ජාලෙටත් රිංගුවා ඈ......

Grey said...

Couple of years ago we also face the same thing. It's nice to have them. But becarefull they got some real badass mites on them.

මම said...

අයියෝ අක්කේ මටත් ඔය වගේම දෙයක් උනා.අපිට සැහෙන ගානක් විය පැහැදම් උනා දොර ජනෙල් වලට රෙදි දාන්න.ඉතින් එවා දාලා ටික දවසකින් මෙන්න් බොලෙ අලුත් ජොඩුවක් ජනෙලෙ ලග නිවහන හදනවා.අලුතින්ම දාපු ජනෙල් රෙදි,අපොඉ දෙයියනේ දවසක් බලද්දි යටට දලා තිබුන ලේස් එක ඉරිලා ගිහින් අර පරඩැල් කෑලි වල පැටලිලා.පව්නෙ කියලා එලෙව්වෙත් නෑ.ටික දවසකින් පැටව් එහෙම හදාගෙන කිචි බිචි ගග ඉන්නවා.දවසක් බැලින්නම් පැටවුන්ට කූඩුවෙ ඉඩ මදි වෙලාද කොහෙද අවිදිදි වෙන්න ඇති බිමට වැටිලා කෑ ගහනවා.අපෝ ඒදා ඉදලනම් ඒ ගොල්ලෝ මට පුදුම කරදරයක් දුන්නේ.ඒකනම් කියලා වැඩක් නෑ අක්කා....

Unknown said...

එයාලට ඉඩ දුන්න එකනම් ලොකු දෙයක්. ඒත් පරිස්සම් කරන්න වෙනවා ඇහැක් වගේ. මොනවා හරි ඒ අයට උනොත් එහෙම දුක් වෙන්න වෙනව කාලාන්තරයක්.
අපේ ගෙදර කුස්සියේ බිත්තියක එහෙම හිටියා ජෝඩුවක්. අපේ ගෙදරටත් තවත් කෙනෙක් එන්න ඔන්න මෙන්න කාලෙ. එයාට හැමදාම උදේ අර කූඩුව බලන්න ඕනේ ....
එක දවසක උදේ බලද්දි ......
.... සතියක් විතර ඇඬුව එක තමයි කලේ ..
එදායින් පස්සේ කිසිම කුරුල්ලෙකුට ඉඩ නැහැ.
ඒක නිසා උන්ට ආරක්ෂාවත් දෙන්න.

Post a Comment

හඳපානේ ඇවිදිද්දි එක් එක්කෙනාට හිතිච්චි දේ...