මගේ ගොක්කොල පෝරුවේ කතාව....

Comments: (0)


මට ඇත්තටම මේ සිද්දි දාමය සිහි උනේ බිඟුවා ගෙ ගුමු ගුමුව ඇහිලා..

මං පෝරු නැංගෙ මීට අවුරුදු තුනකට විතර කලින්... ඔය පිංතූරෙ තියෙන්නෙ ඒ පෝරුව...හැමදාම ඔය දේවල් දකිද්දිමට පුංචි ආඩම්බරයකුත් එක්ක හීං සතුටක් දැනෙනවා...

අපි මුලින්ම එකඟතාවයකට ආවා.. රුපියලක්වත් ණය වෙන්නෙ නැහැ කියලා.. හැබැයි බොරු කියන්න ඕනෙ නැහැ.. සම්පූර්ණ ක්‍රෙඩිට් එක දෙමව්පියන්ටයි මගේ සඳටයි අයිති වෙන්න ඕනෙ..අපි කිසිම දෙයක් ක්‍රෙඩිට් වලට කලේ නැහැ..


දැන් ඔයාලා හිතනවා ඇති අපි මාර සල්ලි කාරයෝ කියලා.. මොන පිස්සුද?.. දින තීන්දු වෙද්දි අපි දෙන්නම ඉගන ගෙන ඉවර කළ ගමන් රැකියා වලට ආධුනිකයෝ..

අපි වැඩේ පටන් ගත්තා.. සාරිද.. මල්ද... පෝරුද.. අරවද මේවද.. එකක් ඉවර වෙනකොට එකක්... අපේ ජෙනරේෂන් එකේ පළමු වෙඩින් එක... කමෙන්ට්ස් ගොඩයි... "ලොකු දුව අර හාදයව කසාද බඳිනවලු"... ආරංචිය මිසයිලයක් වගේ ගම් නියම් ගම් පසාරු කරගෙන දෙවනත් කලා..

හැමදාම හවසට ප්‍රශ්න පත්‍ර වලට උත්තර ලියන්න මටයි අම්මිටයි තාත්තිටයි සිද්ද වෙනවා..

අර ඔහෙ ආව ගිය කොලුවමද? - ඔවු
කොහෙද ගන්නෙ? - ගෙදර
ඉඩ ඇතිද? - ඇති
දෙවෙනි මනමාලි කව්ද? - කවුරුත් නැහැ
මල් කුමරියෝ කී දෙනාද? - එකෙක්වත් නැහැ
බොන්න දෙනවද? - නැහැ
කෑම කොහෙන්ද? කේටරින්

පෝරුව? - ගොක්කොල

හුඟක් වෙලාවට ප්‍රශ්න රිපීට් වෙනවා..

කාලයාගේ ඇවෑමෙන් කට්ටියට තෙරුනා සිම්පල් ඇන්ඩ් ස්වීට් කියලා.. ඉතින් කට්ටිය වැදගත් ප්‍රශ්නයක් අහන්න පටන් ගත්තා.. " අපෙන් මොනවද ලොකු දුවට ඕනෙ?"... .............. ෂහ්.. මාරයි...
 
මං මගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කලා.. " මට වීදුරු කෝප්ප පිගන් එපා!!! මෙන්න ලිස්ට් එක... පුලුවන් දෙයක් කරලා දෙන්න..." මං නෑයින්ට කිව්වා.. මේ ආරංචිය අර මිසයිලයේ බැන්ද මල් වෙඩිල්ලක් වගෙ හතර අත එලිය කරගෙන පුපුරා ගියා...ආඩම්බරයි කියන්නත්.. ලිස්ට් එක අලෙවි උනා.. පුංචිඅම්මගෙන් ඇඳුම් සහ ඇන්දවීම, මල් කලඹ, පැකේජ් එකට ට්‍රන්ස්පොර්ට් පවා ඇතුලත්.. ආච්චිගෙන් කැවිලි.. එක්කෙනෙක් ඇල්බම් එක.. එතකොට නංගි රස්සවට ගිහින් මාස තුනකුත් නැහැ.. එයාගෙන් වෙඩින් පොටෝ... තව මෙකී නොකී අයිටම් ඉස්සරහින් තනි තනිව හෝ සමූහ වශයෙන් නම් ලියවෙන්න පටන් ගත්තා..
මට පවුල් වලල්ල තුළ ලොකු ආත්ම විස්වාසයක් ගොඩ නැගුනා.. ඇත්තමයි!!!


ඉතින් මේ ලිස්ට් එකේ නෑදෑයෙක් නොවන කෙනෙක්ගෙන් ලැබිච්ච තෑග්ග තමයි ඔය පින්තූරෙ තිබ්බ පෝරුව..මංගල්ලෙට දවස් කීපයකට කලින් මනමාළයා කටුනායක හරහා ගෙදරට සේන්දු වුනා.... ඉතින් අපි දෙන්නා අවුරුදු හතක් තිස්සෙ අමාරුවෙන් ගොඩනැගූ අත්තිවාරම මත ඉදි කළ පෝරුවට නැග්ගහම දැනිච්ච අභිමානය අදටත් අපිව ජීවත් කරවනවා.. අර කිව්වා වගේ රුපියලක්වත් ණය නැතුව කොන්ද කෙලින් තියාගෙන පෝරුව උඩට සැහැල්ලුවෙන් නැගලා සියල්ලන්ගෙම හිස් වලට උඩින් බලද්දි දැනුන සුවය කවදාවත් අමතක වෙන්නෙ නැහැ..
 
මේ සියල්ල අවසානයේ තෑගි ලැබුන ලියුම් කවර එහෙම්මම අපි අතට දෙන්න තරම් උතුම් හදවත් දෙමාපියන්ට තිබුනා.. අපි ෆික්ස් ඩිපොසිට් එකක් දාලා කොම්පියුටර් එකක් ගත්තා... එදා මගේ ඇහැට මුලිච්චි වෙච්ච හැම දේම අදටත් මං සලකන්නෙ ජයග්‍රහනයෙ සංකෙත හැටියට..
 
(ටච් වූඩ්) අපි දෙන්න අදත් සතුටින්..

මට ලියන්න මාතෘකාවක් හිතාගන්න බැහැ..

Comments: (0)

මල්ලිගේ ආගමන කතාව කිව්වට පස්සෙ මට සින්ඩිය පැත්තෙ රවුමක් ගහන්න වෙලාවක් නැති වෙච්ච හැටි?..... සින්ඩියේ රවුම් ගහනවා තියා මූනු පොතටවත් ගොඩ වෙන්න බැරි උනා..




ඉතිං පසළොස්වක නිමා වෙලා සඳ ආයෙමත් අමාවක ලබලා...වෙලාවක් කලාවක් නැතුව ආයෙත් කවුලුව ලඟ..

මල්ලි ගේ ආගමන කතාව...

Comments: (6)

මං පුංචි කාලෙ ඒ කියන්නෙ මාස ගානෙ කිරි බබා කාලෙ තාත්ති එනකම් ඉන්නවලු නිදා ගන්න නිදියන්නෙ "අන්න බලන් සඳ ර්න් තැටියෙන් සුදු" සින්දුවට විතර ලු....



ඔහොම කාලෙ ගෙවෙද්දි අනිත් ලමයින්ට මල්ලි ලා නන්ගිලා එන්න පටන් ගත්තා... මගෙත් ඉල්ලීම දරුණු යුද්ධයක් තත්වයටම ආව නිසා, තාත්ති කඩේකට ගිහින් මල්ලි කෙනෙක් තෝරලා තියනවා...


ඔහොම ඉන්නැද්දි තාත්ති මල්ලිව ගෙදර එක්කන් එන්න කැමති කරවගෙන.. ඒක හරි අමාරු වැඩක්ලු.. ඉතින් පඩි දා ට පස්සෙන්දා බස් එකෙන් බැහැලා දෙන්නා එනවලු...



අපේ ගෙදරට එන්න තියෙන්නෙ වෙල මැද්දෙන් වැටිච්ච රේල් පාරක් පහු කරගෙන.. තාත්ති ගෙදර එද්දි මගේ මූඩ් අප්සෙට්.. මොකක් හරි වැඩක් වැරදිලා හීනි පේර කෝටුව වැඩ කරලා...


මාර වැඩක් වෙලා තියෙන්නෙ..


ඉතින් , රේල් ගේට්ටුව ලඟදි කව්දෝ මල්ලිට කියලා අක්ක ගෙ දඟ වැඩ ගැන.. තාත්තිගෙ බෑග් එකේ තිබ්බා අගුලක් දාන්න පිත්ත්ල තහඩුවක්... ඕකෙ හිලක් තිබුනා.. ඉතිං අර කතාව අහපු ගමන් මල්ලි මං ගැන කලකිරිලා බෑග් එකෙන් බැහැලා යන්න ගිහිල්ලා... මං ඇති වෙනකම් ඇඬුවා... ටිකක් අමාරු උනත් හොඳ ළමෙක් වෙන්න හිතා ගත්තා...


මට ඒ වැඩේ ටිකක් අමාරු බව තේරිච්ච අපෙ අම්මි තමන්ම ගිහින් මල්ලිව තොරගෙන කරුණු පැහැදිලි කරලා එක්කන් එන්න තීරනය කලා.. අන්තිමට අපි එකඟ තාවයකට ආවා...මං දඟ නොකර ආච්චි එක්ක දවස් කීපයක් ඉන්නවා. ඒ අතරෙ අම්මි ගිහිං මල්ලිව තෝරගෙන කරුණු පහදලා දීලා එක්කරගෙන එනවා...


හරි... දැන් වැඩේ තීන්දුයි.. මට හිතාගන්න බැහැ අම්මි එච්චර දුරක් තනියෙන් යන්නෙ කොහොමද කියලා.. මොකද එයා අවිදින්නෙත් අමාරුවෙන්.. කමක් නැහැ.. මල්ලියෙක් ගේන වැඩේ හරිනෙ...



ඔන්න ඉතින් ආච්චි ආවා.. පුංචිත් ආවා... ගිවිසුම පොඩ්ඩක් එහෙ මෙහෙ කරලා මං පුන්චි එක්ක ඉන්න එකඟ උනා.. මං කිව්ව හරි !!! අම්මිට තනියෙන් යන්න අම්මරුයි ලු. .. කමක් නැහැ.. මල්ලිගෙ වැඩේ හරිනෙ...


ඔන්න ඉතිං අපේ අම්මි දවස් ගානක් මහන්සි වෙලා හොයලා හොයලා.. හොඳ මල්ලි කෙනෙක් තෝරලා අරං ආවා.. ගෙම්බෙක් හැඩ කාර් එකක.. මල්ලි හරියට චීස් බෝලයක් වගේ.. මහන්සි වෙලාම අම්මි හුඟක් කෙට්ටු වෙලා තිබුනා.. මට මල්ලියෙක් ලැබුනා...


වැඩේ හරි!!!

පුරුදු වෙන්න ඉස්කෝලෙ යාම..

Comments: (18)
මගේ මතකයඈතට දිව යද්දි නතර වෙන එක තැනක් තමයි ඉස්කෝල ජීවිතේ ආරම්භය... අසූ ගණන් වල මුල් කාලෙ.. ඉපදිලා තියෙන්නෙ ඔක්තෝබර් නිසා අනිත් ළමයින්ට වඩා ටිකක් පොඩියි.. මං ඉස්සර කෙඬෑරි පොඩි එකෙක්.. මොනවා ගිල්ලෙව්වත් ඇඟේ මස් කළඳක් නැහැ...

මේ කියන කාලෙ අපි හිටියෙ ගම්පොල.. අම්බුළුවාව කන්ද පාමුළ.. අපේ ගෙදරින් පාරට ආවාම තියනවා පිරිමි ඉස්කෝලයක්.. ඒ ඉස්කෝලෙන් එහා පැත්තෙ ගෑණු ඉස්කෝලෙ... අපේ අම්ම ඉගැන්නුවේ ඔය ඉස්කෝල දෙකේ කාලෙන් කාලෙට ට්‍රාන්සර් වෙමින්..

මට අවුරුදු 4 කාලෙදි අපේ ගෙදරට මල්ලියෙක් ගෙනාවා.. එයාව බලා ගන්න ඔනෙ නිසා අපේ අම්මට විතරක් ඉස්කෝලෙන් නිවාඩු දීලා තිබුනා.. අනිත් අයට මල්ලිලා හිටියට එයලගෙ අම්මලාට නම් නිවාඩු තිබුනෙ නැහැ...ඉතින් ඒ ඉස්කෝලෙ අක්කලා අපේ ගෙදර එන්න පාර දන්නෙ නැති හින්දා අන්තිමේදි අම්මට ඉස්කොලෙ යන්න උනා.. අපෙ ගෙදරට මල්ලි බලා ගන්න මාලනී කෙනෙක් ගෙනාවා...

කොහොම හරි අම්මගෙ ඉස්කෝලෙ අක්කලා අඳින ජාතියේ ගවුමකුයි බෑග් එකකුයි දිග මිටක් තියන කුඩේකුයි වගේ අඩුම කුඩුම වගයක් අපේ ගෙදරට සේන්දු වුනා... දැන් මම ඉස්කෝලෙ යනවා..

ඒක හේරත් මිස් ගෙ පංතිය. ඒ පංතියේ හිටියා දුලානි අක්කයි, දිමුතු අක්කයි... මමත් තරඟෙට අකුරු ලියනවා, ඉලක්කම් ලියනවා, ඉන්ටවල් එකේ දි පියනෙන් වහගෙන පෙට්ටිය ඇතුලට රිංගලා වගේ පාන් කනවා..පස්සෙ බට්ටා පනිනවා.. මේ වගේ රාජ්ජෙක ටික කාලයක් රජ කරගෙන ඉන්දැද්දි මට හරි අකරතැබ්බයක් උනා..


මං ඇරෙන්න අනික් ඔක්කොමලා පද්මා මිස්ගෙ පංතියට ගියා.. ඒගොල්ලො පාස් වෙලාලු.. එතකොට මං??????? මගෙ පංතියට අලුත් ළමයි ඇවිත්...
 
මං මොකද්දෝ යුද්ධයක් කලා.. මට හරියට මතක නැහැ.. අන්තිමට අම්මට මැදිහත් වෙන්නම උනා.. හීන් පේර කෝටුවක උදව්වෙන් තමයි මට වැටහීමක් ලබා දුන්නෙ පහුගිය ටිකේ ඉස්කෝලෙ ගියෙ පුරුදු වෙන්න බව. ඒ ක්‍රමය සාර්ථක වෙච්ච නිසා හේරත් මිස් මාව හෝඩියෙ පන්තියට ස්ථිරවම බඳවා ගැනීමට කැමති වූ බවත් ඒ විදියටම වටහා දුන්නා...
 
මං ඉතින් පුරුදු වෙන්න ඉස්කෝලෙ යනකං අනිත් අය මොන්ටිසෝරි කියලා එකකට ගිහිං තිබුණා... ඒකෙ සුදු ගවුමක් වත් මොකවත් නැහැ...පළ පුරුද්ද හීන්දාම මට ආයෙත් මගේ රාජ්ජෙ පිහිටුවා ගන්න එක එච්චර ප්‍රශ්නයක් උනේ නැහැ..
 
මං හිතන්නෙ හේරත් මිස් මට විස්වාසනීය වෙනසකට අළුත් ඇරඹුමක් ලබා දුන්නා.....

ඉවර වෙන්නැති කතා .... සොඳුරු ලමා විය... : Walking back to childhood...

Comments: (3)

අවුරුදු 20 කට විතර පස්සෙ ඒ දවස් වල වැඩි පුර කතා නොකරපු.. ඒත් හිතෙන් ගොඩක් ලෙන්ගතු අපි 4 දෙනෙක් පෙරුම් පුරලා පුරලා එකතු පහදු වුනා.. තව හරියටම ගාන සම්පූර්ණ ව්නා නම් 10 දෙනෙක් විතර එන්න තිබුනා..සෙට් වෙනවා... ආතල් ගන්නවා වගෙ ගොඩක් හර බර professional වචන පාවිච්චි කලාට අන්තිමට අපි හමු වුනේ ice cream parlor එකේ...

ඒ කතන්දර ගොන්න කොහෙන් පටන් අරන් කොහෙන් ඉවර කරන්නද කියලා හිතා ගන්නවත් බැහැ.. හැමෝම පවුල් පන්සල් වෙලා, ළමා ළපටි ඉන්න වගකීම් දරන උදවිය.. ඒවා පොඩ්ඩකට පැත්තකින් තියලා හෝරා දෙකක් පුරාවට අවුරුදු 20 කට කලින් වගේ හිනා වුනේ ඒ කිසිම දෙයක් නැති ගානට...

ආරියදාස සර් ගෙ ඔලු බක්කො.. විකි ගෙ විද්‍යා පංතිය... ගමේ වැළ..... හනේ හනිච්චං...සමහර දේවල් දන්නෙ අද....


තාම හිත එකලස් කර ගන්න බැහැ... මොනවද ලියන්නෙ කියලා.... මයෙ හිතේ ටිකක් හුස්මක් කටක් අරගෙන ලියන එක හොඳයි.. හෙමි හෙමිහිට ලියන්නම්...

සහකාර දඩයම... හෙවත් වැරදෙන කුරුමානම...

Comments: (0)

අවුරුදු කිහිපයකට කලින් ඕට්‍රම් ලයින්ස් වල 2065 හේ ඉන්න කාලෙ... මමයි හසිනියි රදිකායි තුන්දෙනා Summer එක විඳවන්න බැරුව විඳින්න හිතාගෙන රූෆ් ටොප් එකට යනවා.. ගුදිරි මෙට්ටයකුත් අරගෙන විලි වැසීමේ අරමුණ පමණක් ඇතුව ඇඳගෙන...දාඩිය බේරි බේරි රෑ දෙගොඩහරි යාමෙ වෙනකම්ම බයිලා ගහනවා.. හඳ එලිය විතරක් තියෙද්දි මාර තර්ක උපදිනවා..


රටේ තියන ඕප දූප.. ජාතික අන්තර්ජාතික මට්ටම් වල ගැටලු අපි සාකච්ඡා කරපු මට්ටමින් විසඳුනානම් මේ වෙද්දි ලෝකෙ ලස්සන තැනක් වෙලා... අපිට ගොඩක් වෙලාවට තියන ප්‍රශ්නයක් තමයි ලංකාවෙ ද ලෝකෙද මන්දා... ගැහැණු පිරිමි අනුපාතයේ තියන විෂමතාවය..


රටවල් හැට ගානක විවිධ වර්ග වර්ණ වලට අයත් ළමයි හිටිය නගරයේ .. විසේකාර විසි ගනන් වල හිටිය කෙල්ලන්ට තිබුණ ආතතිය තමයි හවස හයෙන් පස්සෙ ගේට්ටු පලුවෙ එල්ලිලා ඔංචිලි පදින කොල්ලො ටික... මොකද .. ගොඩක් ගෙවල් වල Boys are not allowed කියලා ලේබලයක් තිබුනා.. ලංකාවෙන් යන අම්මලා තාත්තලා ඒ ලේබලේට හරි කැමතියි..ගේට්ටුවෙන් ඇතුලට යන්න තියන එකම basic qualification එක තමයි ගැහැණු බව..


ඉතිං ඔය අව්වට මොලේ කොළොප්පං වෙච්ච දවස් වල දාපු කෙස් පැළෙන තර්ක වල ප්‍රතිඵලයක් හැටියට නිදා ගන්න මිනිහෙක් හොයන ක්‍රමය ගැන අපි සම්මුතියකට ආවා.. හඳ එලිය උත්සන්න වෙලා තියන දවසක හසිනි අතින් මේ උදාන වාක්‍යය කියවුනා... "මිනිහෙක් නම් සුදුසු වෙන්න ඕනෙ රෑට නිදා ගන්න නෙවේ.. උදේට නැගිටලා දවස පටන් ගන්නයි..."


කතාව සියට සීයක් ඇත්ත.. !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!



මං නියපොතු කකා කල්පනා කරන්න වුනා.. .........මුකුත් නෑ වගේ,  "සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා වළා රොදක සැඟවිලා..." සිංදුව මුමුනන්න ගත්තෙ වෙලා තියන අකරතැබ්බය ටිකක් අමතක වෙන්නත් එක්ක..



"හෙට සෙනසුරාදා.. සඳ උදා වෙන දවස... ........... උදේ ට නැගිටින්න නම් ඉස්සෙල්ල රෑට නිදා ගන්න එපා යැ... කිකිළි ද බිත්තරය ද? බිත්තරය ද කිකිළිද? ..කිකිළි ද බිත්තරය ද? බිත්තරය ද කිකිළිද? ............" මට එදා හීනෙනුත් අහුනෙ ඇන්ටිගෙ උදාන වාක්‍යය " Boys are not allowed!!!!!"

ඇත්තටම වැස්සා......

Comments: (2)

කරකුට්ටං වෙච්ච පොළව පිපාසාවෙන් මොරගාමින් හිටියෙ. එක පාරටම අහස ගුගුරන්න ගත්තෙ කාටත් නොකියාම. මායි චූටියි එළවළු ගන්න ගිහිං හිටියෙ.. දවසක් දෙකක් වැස්සට පස්සෙ සඳ පෑව්වාම හරි සිසිලයි.. සඳ උදා වෙන්න තව දවස් හතරයි...

මට මතක් වෙනවා ඉස්සරෝම කාලෙ සෙනසුරාදාට එළි වෙනකං මං බලාන ඉන්නවා.. ඒ අවුරුදු 10 කට විතර කලින්.. හරියට 10.00 ට ITO වලට.. මම ඉතින් බද winter එකේ අමාරුවෙන් නැගිටගෙන බස් එකක ITO යන්න දෙන ගේම මතක් වෙනකොට හිනා යනවා.. ඉස්සෙල්ලාම දවසෙ කන්න බැරි තරම් නීරස චව්මින් නූඩ්ල්ස් එකක් අරන් දීලා පටන් ගත්ත කතන්දරේට මේ වෙඩ්දි පුර පෝයවල් කීයක් ගෙවෙන්න ඇතිද?

අපි එකම ජාතියේ දෙවල් වලට කැමතියි කියලා තෙරුම් ගියෙ හරිම හිමිහිට..



ටික කාලයක් යද්දි මට තෙරුම් ගියා සඳ අනිවාර්යෙන්ම පොය දාට පායන බව.. අමාවකට නැති බව.. අහස වලකුලු බර නම් මට පෙනෙන්නෙ නති බව.. දවාලට සඳ නැති බව... ඒත් සඳ මගේම බව..
 
පුර සඳ හැමදාම රවුම්.. සිසිලයි... සැහැල්ලුයි.. අඳුරු අහසට අලංකාරයි.. මෘදුයි... රාත්‍රියේ සරාගී බවට සෞන්දර්යය මුසු කරනවා.. ඉතින් තවත් වෙන මොනවද කියලා ටික කාලයක් යද්දි මට හිතුනා...



මොර සූරන වැස්සෙ හෙම්ම්බත් වෙලා නවාතැන හොයාගෙන යද්දි සැහැල්ලුවෙන් හිනා වෙලා මට පාර පෙන්නන්න පුළුවන්නම් ...

වැස්සයි කඳුළුයි ඇඬීමයි...

Comments: (7)
වැස්ස ටිකක් පෑව්වට පස්සෙ මයෙ හිතේ මට එහෙම්මම නින්ද ගිහිං... උදේ වෙනකම්ම දන්නෙ නැහැ. ඉකි ගහපු හින්දද කොහෙද උගුරත් හීනවට රිදෙන්න ගත්තා.. ඒත් අහස බර වෙලා තියනවාට වඩා වහින එක හොඳයි. ඊට පස්සෙ සිසිලක් සැහැල්ලුවක් දැනෙන නිසා.


මට හැමදාම අඬද්දි මතක් වෙලා හිනා යන එකක් තියනවා...
 
මං දැකලා තියන සුරූපීම ලළනාවක් දවසක් මොකද්දෝ හිතෙ අමරුවකින් පෙළෙන ගතියක් පෙන්නුම් කරපු නිසා ටිකක් කිට්ටු වෙලා බැලුවා.. ගෑණිගෙ හිත හොඳයි.. ඒ නිසා හරිම ඕපන් ... උදව්වක් කරන්න උනත් බය නැතුව ඉදිරිපත් වෙන්න පුළුවන්... "..................... ඉතිං, ............" ..මං කතාව අහං හිටියා.. මටත් දුකයි.. කොල්ලා කනුවක් තියලා...


මටත් ඇඬෙන්න කිට්ටුයි... එයාටත් එහෙමයි.. කඳුළු බිංදු දෙකක් ඇස් වල එල්ලෙනවා.. ඇය ඒවා වැටෙන්න නොදී ඉන්න මාර සටනක් කරනවා.. මට සියුම් ආඩම්බරයක් ඇය ගැන ඉපදුනා.. "ධෛර්යමත් වෙන්න සහෝදරිය!!!!" මං ඉතින් ඔය වචන වලින්ම නැතත් ඇයට කිව්වා..."ඇස් වලට කඳුළු ආවට වැටෙන්න දෙන්න එපා..." මං සෑහෙන වෙලාවකට පස්සෙ බොහොම සංවේදීව කිව්වා..


හිතුවට වඩා උද්‍යෝගයෙන් ඇය කටහඬ අවදි කළා. "ඔව් අනේ... මේ මගුල් අයි ලයිනෙර් එක හින්දා මට අඬාගන්නවත් නැහැ.."

මං හිනා වුනා.. හිතිං....

සඳ, වලාකුළු සහ අකුණු.....................

Comments: (2)


ගෙන්දගම් පොළොවට හඳ පායනවා කියන්නෙ හරි අපරාදෙ.. මට වෙලාවකට හිතෙනවා.. මං කවුළුවෙන් බලාන ඉන්නකොට එක පාරටම හඳ වලාකුළෙන් මෑත් වෙලා හිනා වෙන්න පටන් ගත්තා.. මාත් ඉතින් හරි බරි ගැහුණෙ හඳ එළිය දෝරෙ ගලන මුහුදු වළල්ල දිහා ටිකක් නිවිහැනවිල්ලෙ බලන් ඉන්න...

සඳ මට ඊයෙ පෙරේදා දවසක කිව්වා ඇවිත
 ආපහු යන්න අහසෙ ඉඩ තියන වෙලාව බලන්න කියලා... මං අමාවකට බයයි.. ආසම නැහැ.. කිව්ව නිසා බැලුවට හොයලා බැලුවෙ නැහැ.. සඳ ඒක දන්න නිසා ද මංදා ඊයෙ වලාකුලක් ඇදලා අරන් චණ්ඩ මාරුතයක් මවලා අකුණු ගහන්න පටන් ගත්තා.. ටික වෙලාවකින් වැහි බිංදු කම්මුල උඩට වැටෙද්දි තමයි මට වැඩේ බරපතලයි කියලා තේරුනේ..

මං හොරෙන් වගේ ආයෙත් ඔලුව උස්සලා බලද්දි සඳ මුකුත් උනේ නැහැ වගේ බොහොම සැහැල්ලුවෙන් හිනා වෙනවා...
පාළොස්වකක් ආයෙත් එයිනෙ...........?

හඳක් මෝදු වෙන්න පටන් අරන්....

Comments: (0)


අද වැඩ ඇරිලා ගෙදර එද්දි මං දැක්කා හීනි තීරුවක් වගේ හඳ පළුවක් මෝදු වෙනවා.... "සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා.... වළා රොදක සැඟවිලා..." එහෙම කියන්නෙ කොහොමද? වළාකුළු එකක් වත් නැහැ.. හැන්දෑව උනත් ගිනි කාස්ටකයි..

මොනවා උනත් පුර හඳ පෑව්වහම පොඩි සිසිලක් තියනවා... මියුරු පෙම් කතා උපදින්නෙ එතකොටයි..

අද තමයි මට තෙරුනේ 6 ට ගනින එක මේ තරම් අමරුයි කියලා.මං ............. 149 ට ගනින්න තියනවා කිව්වහම සඳනි මට හිනා වුනා.. ඒ ජනවාරියෙදි.. ඒත් එක පාරටම 149 , හැත්තෑ ගානකට බැස්සෙ මොකද්දෝ අහම්බයකින්... එදත් අපි හිනා වුනා... මෙච්චර හරියක් ආවානම් මම ඉතුරු හයත් කොහොම හරි ගැන ගන්නම්...දින සති මාස අවුරුදු වලින්ම 10ක් කාටත් හොරෙන් ගෙවුනෙ...

අමාවක කිට්ටුයි...

Comments: (0)


ලයිට් ගිය වෙලාවෙ එලියෙ පුටුවක් තියාගෙන ඉඳගෙන ඉන්න කොටයි දැක්කෙ, පුර හඳ තියා සේයාවක් වත් පෙනෙන්න නැහැ.. අමාවක කිට්ටු නිසා වෙන්න ඇති..


මගේ සඳ පායන්න තව හරියටම සතිය යි.. ඒ සතියත් සතියටම ඕන වේගයෙන් ගෙවෙයි. ඊට පස්සෙ හිතුවට වඩා වේගෙන් අමාවක උදා වෙයි..

වසර 2000 ලබද්දි මගේ ජීවිතෙට සහෂ්‍රය උදා වුනේ හරිම පුදුම විදියට.
 
පරාජයෙන් හෙම්බත් වෙලා ඉන්දැද්දි හඳ අහම්බෙන් මං දිහා අමුතු විදියට බැලුවා.. මළවුන්ගෙ මාසෙ වුනාට ඉල් මාසෙ වාසනාවන්තයි කියලා මං දැනං හිටියෙ නැහැ..... මං හිතුවක්කාර විදියට, තනියම තීරණයක් ගත්තා.. මයෙ හිතේ ජීවිතේ ඉසිස්සරෝම වෙන්න ඇති... "ඔය දඩබ්බර ගතියට මං ආසයි" සඳ පස්සෙ කාලෙක කිව්වා..


මේ සතිය ඉක්මණ්ට ගෙවෙනවානම්........................?

වසර 34ක් එකට ඉඳීම.... හෙවත් HAPPY 34th ANNIVERSARY toAMMI & THATHTHI!!!!!

Comments: (7)
අවුරුදු 34ක් කියන්නෙ ලේසි පහසු කාලයක් නෙවේ.. මම යි මං ජාතියේම තවත් බෝම්බ දෙකකුයි පුපුරන්නෙ නතුව ම්ච්චර කල් ළඟ තියගත්තා කියන්නෙ ඇත්තටම දෙන්නට තෑගි දෙන්න වටිනවා....අපි වෙනුවෙන් නිතර දෙවේලේ අට ලෝ දහමට කම්පා වෙමින්, අවසානයේ අට ලෝ දහම ගැන කම්පා නොවෙන්න අපිට උගන්නන්න දෙන්නම හුඟක් මහන්සි වුනා..

ඒ වෙලාවට ඩිංගක්වත් හිතෙන්න නැතුව ඇති තමන්ගෙ ගොඩ ලොකු කරගන්න විදියක්.. එහෙම ඒ දෙන්න හිතුවා නම් ලෝකෙම විනාස කරමින් බෝම්බ තුනම පුපුරලා..

මට හිතා ගන්න බැහැ formal විදියට සුභ පතන හැටි............... පව්!!!!!!!!! දෙන්නා තනියම ඇති.. සති අන්තයේ අපි කවුරු හරි බලන්න එනකං.. ( බාගෙට ඉදිච්ච කෝලිකුට්ටු ඇවරිය යි, බාස්මති හාලුයි කිරි හට්ටියකුයි ත් මේ වෙද්දි ගෙනත් ඇති කියලා නම් මට ෂුවර්)..




සියක් ආයු ලැබ, මගෙත් ආයු ගෙන මටත් වඩා කල් ඔබ දෙදෙනාම ජීවත් වේවා!!!!!

උණුසුම දැනේ දහවල් මට රැයට වඩා.....

Comments: (1)
පුර් සඳ පායන්න තව සති දෙකකටත් වඩා තියනවා. දැං මයෙ හිතේ අමාවකට කිට්ටුයි.. ගෙන්දගම් පොළව මත්තෙන් ගිහිං හිසට ඉහළින් කැකෑරෙන දාහයක් ගතයි හිතයි දෙකම පෙලනවා..ඒසී එක සර්විස් කරන මිනිහා මහ මද්දහනේ ආවහම මට යකා නගිනවා.. ඒත් පොළව කොටන තැන පාර තනන තැන වැඩ ඉන්න දෙවිවරු... ඔටුව පිටෝටුව කියලා ගාලු පාරෙ ඉහලටයි පහලටයි කෑගහන කොන්දොස්තර අය්යලා... අනුන්ගෙ උවමනාවට ඉපදිලා උන්ගෙම උවමනාවට හිඟා කන සුරුබුහුටි යාචක දරුවන්.... දෙයියන්ටම ඔප්පු වෙච්චාවෙ..!!!! මං හිතන්නෙ සක්‍ර දෙයියන්ගෙ පඬුපුල් ආසනේ මේ වෙද්දි කොයිල් එකත් පිච්චිලා ඇති.... ඒ තරමටම රස්නේයි......

දින පොත පුර සඳට ලියන්න හිතුනා....

Comments: (1)
මට හිතුනා මේක දින පොතක් හැටියට පාවිච්චි කරන්න.. මොකද කොහොම බැලුවත් අපි හැමෝටම සිද්ද වෙන්නෙ එකම දේ... ඔබ මං ගැන කාගෙන් හරි අහලා දැන ගන්නවාට වඩා මම ම කියන එක හොඳයි කියල හිතුනා..

මට ඔබට ලියන්න හිතුන හැටි...

Comments: (1)
ලියමනක් ලියන්න හිතාගෙන හිටියත් ලියන්න තරම් විශේෂයක් නැති බව පෑනයි පොතකින් ඉරා ගත්ත තනි රූල් කොලයයි අතට ගත්තාම හිතුනා.. මගතොටේදි අල ගිය මුල ගිය කතා කීයක් නම් ඇහෙනවද.. දකිනවද..එහෙම ඕප දූපයක්වත් ලියමනක ලියලා එව්වහම අඩු තරමින් මතක් වෙන බව වත් දන්නවනෙ...