කර කියා ගන්න දෙයක් නැතුව අතට අත දීම...

Comments: (11)
මේක මං දන්න කෙනෙකුට ඇත්තටම වෙච්ච දෙයක්... මොකද සිද්දිය වෙච්ච වෙලාවෙ මං එතන.. කතාවෙ පූරවාපර සන්දි ගලප ගත්තෙ පස්සෙ.. කතාව මේකයි..

"ඇය" පහුගිය ටිකේම ගෙදර යද්දි වැස්සට අහු උනා.. වැඩට අඳින කලිසම් තත බරිත උනාම හරිම අප්පිරියයි.. ඒක නිසා අද ටිකක් කොට සායක් අඳින්න හිතුවා.. කොට කිව්වට කොටම නෙවෙයි.. දණිස්ස වැහෙන නොවැහෙන ගානට..


ඔය අතරෙ රාජකාරිමය පාර්සලයක් එන්න තිබුණා.. හිතපු වෙලාවටම ඇගේ මේසෙ උඩ තිබ්බ දුරකතනය වැදුනා.. එහි අනිත් පස හිටියෙ එතුමා... එතුමා කිව්වෙ ඇත්තටම එතුමගෙ තත්වයට එන්න අපිට තව හුඟක් කල් යයි..


".... මම මේ ගාඩ් රූම් එකෙ ඉන්නෙ.. පාරෙ වාහනේ නවත්තලයි ආවෙ.. could you please come and collect this?.."
"Yes sir!! Sure!"
 
ඔහුට ආපහු යන්න ඇති හදිස්සිය තේරුණ නිසා ඇය ලිෆ්ට් එක එනකන් ඉන්නෙ නැතුව පිය ගැට පෙළ බැස්සා.. ටිකක් වේගයෙන්..


පඩිපෙළ බාගයක් බහිද්දිම නිකන් ගැරඬියෙක් කකුල් දෙකේ එතෙනවා වගේ අපුලක් ඇයට දැනුණා.. බලද්දි එතුමගෙ ඇස් වලින් පිට වෙච්ච ආලෝක කිරණ කීපයක් විළුඹේ සිට ඉහළට වේගයෙන් එතෙනවා.. දණිස්ස පහු කරන්න කළින් ඇයව එතුමා ළඟටම ගෙනියන්න ඇගේ වේගය සමත් උනා..
 
ඇය එතුමගෙ දෑස දිහා එක එල්ලේ බැළුවා.. ඒ බැළුම් ප්‍රහාරය සාර්ථක වෙච්චි නිසා අර අනවර්තේ එළියට දාපු ආලෝක කිරණ ටික ආපහු අරං නොපෙනෙන තැනක හංගන්න එතුමට වෙලා මදි උනා.. එතුමා අප්සට් ගියා...
 
එතුමා පාර්සලය දීල ඇයට නොනවත්වා shake-hand කරන්න පටන් ගත්තා... ඔවුන් දෙදෙනාමයි ගාඩ් රූම් එකේ හිටපු සිකියුරිටියි තුන් දෙනාම අන්දුං කුන්දුං වෙලයි හිටියෙ..
 
 
මේක මේ සාක් සමුළුවේ දි හුවමාරු කරගන්න ගිවිසුමක් තරම් ලොකු ලියවිල්ලක් නෙවෙයි, ඊයෙ හවසත් හම්බුණ ඇගේ අතට පාර්සලේ දීලා අතට අත දෙන්න තරම්.. අනික එතුමයි ඇයයි දෙන්නම ඉංග්‍රීසි පන්නෙ අයත් නෙවෙයි ...
 
ඒ කට්ටිය විතරක් නෙවෙයි.. මාත් අන්දුං කුන්දුං උනා... ඒක නිසා එතනින් එහාට එතුමට මොකද උනේ කියලා මතක නැහැ... අපි දෙන්නම එතුමා ගියාට පස්සෙ බඩ පැළෙනකං හිනා උනා... ආපහු ඔෆිස් එක ඇතුලට ගිහිං අනිත් අයටත් කියමින් හිනා උනා... එතුමාට පිංසිද්ද වෙන්න සිකුරාදා දවසෙ තියන වෙහෙසකර ඇල් මැරිච්ච ගතියෙන් මදකට මිදෙන්න අපිට පුළුවන් උනා... හිනාව කියන්නෙ වෙහෙසට හොඳ බෙහෙතක්..
 
 
 
ඒත් හවස බස් එකෙ නැගලා එද්දි මට එතුමා ගැන අනුකම්පාවක් ඇති උණා.. මොකද දන්නවද.. ඔය හැඟීම ඇති වෙන්න ඇත්තෙ හැත්තෑ වයස් පිරුණ එතුමට විතරක් නෙවෙයි.. තව බොහෝ දෙනෙකුට.. ඒත් ඒ ඒත් හිතේ ඇති වෙච්ච කුපාඩි හැඟීම ඇස් දෙකෙන් එළියට නොදා වහ ගන්න බැරි වෙන්නෙ එතුමා වගේ අසරණයෙකුට විතරයි...

අනවසර පදිංචි කරුවන් ගේ ගෙවැදීම...

Comments: (1)
අපේ ගෙදරට අහන්නෙ බලන්නෙ නැතුව පදිංචියට ආව ජෝඩුව ගැන මං කිව්වනෙ? මෙතන කොටලා බලන්නකො..
දැං ඒ ගෙයි කට්ටිය පදිංචියි.. කට්ටිය කිව්වට මහ ලොකු සෙනගක් නැහැ.. ජෝඩුව ආවා.. මූලික වැඩ කෙරුණට පස්සෙ කීප සැරේ මං දැක්කෙ මිසිස් ව විතරයි..
මං හිතන්නෙ දෙන්න තුන්දෙනා වෙන්න හිතලා වගේ.. කිරිල්ලි මළු සේසතම රැකගෙන හිත තද කරගෙන ගෙදරටම වෙලා ඉන්නවා.. හෙට උදේට පුළුවන් උනොත් හොරෙන් පිංතූරයක් අරන් දාන්නං...
මට පොඩි ප්‍රශ්නයක් තියනවා... මේ දෙන්නා කොන්ඩ කුරුල්ලෝ.. මෙයාලා හරියටම කොහොමඩ දන්නෙ අපි එයාලට කරදර කරන්නෙ නැහැ කියලා...? මොකද මීට කලින් හම්බෙලා කතා කරලා තියනවයැ?

අනවසර පදිංචි කරුවන් සමග සාමයෙන්...

Comments: (6)
කාලෙකින් හඳ පානෙ රවුමක් යන්න බැරි වෙච්චි එකේ පෝය දවසෙ උදෙන්ම ඉඳගත්තා කවුළුව ළඟ...


මේ දවස් වල මට පුංචි වැඩක් හින්දා බිසි උනා.. මොකද අපේ ගෙදරට අනවසර පදිංචි කාරයෝ දෙන්නෙක් ඇවිත්...ඒක තනිකරම බලහත්කාරයෙන් වෙච්ච දෙයක්..

අපි මීට මාස කීපෙකට උඩදි ගල්කිස්සෙ ගාලු පාරට ඇවිදින දුරින් ගෙයක් කුළියට හොයා ගත්තෙ දෙය්යනේ කියලා නිදහසේ ඉන්නයි... මාස කීයද ගියෙ.. ?

දවසක් මං අහම්බෙන් දවසම ගෙදර හිටිය දවසෙ මට ඇහුණා සාලෙ දොර ළඟ කච කච ගාලා ඝොෂාවක්..
බලද්දි දෙන්න දෙමහලෝ දෙන්නෙක් පදිංචියට තැනක් තෝර ගන්න බැරුව අඩව් අල්ලනවා.. සාලෙ ජනෙල් හතරෙ පියන් අඩවල් කරලයි තිබුණෙ.. දෙන්න ජනේලෙට හේත්තු වෙලා මහ හඬින් කතාව.. මට තේරුණා එන පොට එච්චර හොඳ නැහැ කියලා.. මං පේන මානෙට ගියා.. මොකද කුළියක් ගෙවලා ගෙයක් ගත්තෙ පාඩුවේ ඉන්නනෙ...
දෙන්නා එසැනින් නොපෙනී ගියා.. ඒ උනාට මං වැඩක යෙදෙන අල්ල පනල්ලෙ ඕන කරන බඩු මුට්ටු ටික ළං කරගෙන තිබුණා.. තමං ගෙ පාඩුවේ ලැගල ඉන්න තැනක් හොයා ගන්නවා වගේ නෙවෙයිනෙ.. අර ළන්කර ගත්ත බඩු මුට්ටු වල සුන් බුන් වලින් පළාතම වනසලා..
අලුත් ජෝඩුවක්නෙ.. තාම මධු සමය වෙන්න ඇති.. මං අනුකම්පා කරලා එදා හවස සුන් බුන් ටික අස් කරලා දැම්මා.. මොකද අපිටත් ඔය වගේ කාලයක් තිබුණනෙ.. අළුත් ජෝඩු වලට පදිංචියට තැනක් ගැන එකඟ වෙන එක තමා අමාරුම කාරණේ...
ඉතිං දෙවෙනි දවසෙ ගෙදර එද්දි.. ජනෙල් ග්‍රිල් එකක ගැටයක් ගහලා මොකද්දෝ සෙල්ලමක් දාලා.. මං ඒත් ඉවසලා හිටියා.. මං දැක්කා හවස් අතේ මාව ගනන් ගන්නෙ නැතුව වගේ ඇවිල්ලා අර ගැටේ තියනවාද ගියලා බලලා.. අහක බලාගෙන යන්න ගියා..


පහුවදා නිවාඩු දවසක්.. උදේ තේක බොන ගමං නංගියි මායි කතා කළේ මේක මාර වැඩක් නෙ කියලා.. අපිට ඒ ගොල්ලොත් එක්ක හවුලෙ ෆෑන් එහෙම පාවිච්චි කරන්න අමාරුයි.. මොකද සාලෙ ෆෑන් එක ෆුල් දාන එකක් නෙ..

හවස මං ගෙදර එද්දි නංගි ෆෑන් එකෙ ස්විච් එකට සෙලෝ ටේප් එකක් ගහලා තිබුණා.. මොකද අපි එකඟ උනා මෙයාල ඉන්නකං සාලෙ ෆෑන් එක දාන්නෙ නැහැ කියලා.. කවුරු හරි වැරදීමකින් හරි දැම්මොත් අපි ගත්ත තීරණය වැඩක් නැහැනෙ..


ඊට පහුවදා ගෙදර එද්දි වැඩේ හරි.. සියල්ල සංවිදානාත්මකව සිද්ද වෙලා තිබුණා.. වෙනම ගේ කෑල්ලක් හදා ගන්න අත්තිවාරම විතරක් නවෙයි බිත්තිත් නග්ගලා.. මදැයි..
 
ඩබල දන්නවා කළ වැඩේ බරපතල කම.. මේක දෙහිවල ගල්කිස්ස මහ නගර සභා සීමාවනෙ.. අනවසර පදින්චිය ගැන හුඟක් සැළකිළිමත්.. අපි ඉතිං කම්ප්ලේන් කරන්න ගියේ නැහැ.. මොකද කට උත්තර ගන්න නගරාධිපතිට මෙයාල පස්සෙ යන්න බැහැනෙ..


දැන් සෑහෙන දුරට ගෙයි වැඩ ඉවරයි.. හෙට අනිද්දම පහිංචියට එයි.. කුළියක් ගන්න විදියක් නැහැ.. මොකද මේ ගෙට ගහපු ඇග්‍රිමන්ට් එක අස්සන් කළේ ලෝයර් කෙනෙක් ළඟ.. ඒකෙ පැහැදිලිව තියනවා නැවත කුළියට දෙන්න අපිට බැහැ කියලා... ඒ උනත් පිනට අහක යන ජෝඩු වලට ලගින්න දෙන්න බැහැ කියලා කියලා නැහැනෙ.. මං බදු ගිවිසුම කියවලා බළුවා.. එහෙම එකක් නැහැ..
අද උදෙත් ඇවිත් නක්කලේට වගේ මගෙ වටේ ර්වුමක් ගහලා ගියා.. බලමුකො..


ආහ්.. මං ඔය අතරෙ හදිස්සියට හරි ඕන වෙයි කියලා එයාලට හොරෙන් පිංතූර කීපයක් ගත්තා.. ඔය තියෙන්නෙ ඒව ටික..

මේ තියෙන්නෙ ඉස්සෙලාම දවසෙ ගහපු ගැටේ..

මේ තියෙන්නෙ ගැට ගහන්න ගිහිං අතේ මාට්ටු වෙච්ච හැටි. ("මොකද කට උත්තර ගන්න නගරාධිපතිට මෙයාල පස්සෙ යන්න බැහැනෙ.. ")



කැදැල්ල ඉන් ප්‍රොග්‍රස්...


මධු සමයෙදිම ගැබ් බර වෙච්ච ආදරණීය බිරිඳට ඕනෙ මිමි වලට කැදැල්ලේ හැඩ රුව තීරණය කරන හැටි..


මේ අද උදේ.. දැන් සෑහෙන්න ගෙයි වැඩ ඉවරයි.. අද හෙට පදිංචියට එයි..


 
 
බබ්බු හම්බෙන්න ඉද්දි ගෙවල් හදන්න හොඳ නැහැ කියන්නෙ ඇත්තද මන්දා...? ඔය හදලා තියෙන්නෙ...!!!

සංකේත.. පර්ස් එක, කුඩය සහ ලේන්සුව...

Comments: (21)

මේ දවස් වල අපි දවල් වරුවෙ එළියට බහින්නෙ ඕනම කමකට විතරයි නෙ.. ඉතින් ඔය වගේ ඕනෙම කමක් ඇති වෙලා ඉතාම අකමැත්තෙන් මං ගාළුපාරට ආවා...
මට ඇවිදින්න තිබුණේ මීටර 100 ටත් වඩා අඩු දුරක්... ගිනි කාස්ටක අව්ව.. බැරිම තැන මං කුඩේ ඉහළගත්තා.. අත් බෑගය ගෙනාවෙ නැති මෝඩ කම කියලා තේරුණේ එක අතකින් කුඩෙයි අනිත් අතින් පර්ස් එකයි අල්ලගෙන තුම්මුනින් වැක්කෙරෙන දාඩිය පිහ ගන්න විදියක් නැති වෙද්දියි...


කඩ මන්ඩිය පහු කරලා ටික දුරක් එද්දි කර් එකක් නැවැත්තුවා පාරක් අහන්න වගේ.. ම්හු.. අහන පාටක් නැහැ.. මං මගේ පාඩුවේ ඉස්සරහාට ගියා..
මීටර 10-20ක් විතර යද්දි ආයෙත් අර කාර් එක මාව පාස් කරලා නැවැත්තුවා.. ඒක ටොයොටා ඇලියොන් කාර් එකක්.. මං ගනන් ගත්තෙ නැහැ.. මොකද ඉඳලා හිටලා කොල්ලෙක් නක්කලේට වෙට්ටු දානවා කියන්නෙ අමුතු දෙයක් නෙවෙයි නෙ?.. මට ඕවා නවත්තන්න බෑ නෙ?.. මං නොනැවතී ඉස්සරහට ගියා..
ආයෙත් ඒ කාර් එක මාව පාස් කරලා නැවැත්තුවා..ඒ ගමනෙ ඉස්සරහා ෂටරය පාත් කරලා... මම නැවතිලා තියුණු බැල්මක් දුන්නා.. බඩ තඩි, තට්ට, අවුරුදු 65-70 ක විතර පොරක් මා දිහා කන්න වගේ බලන් ඉන්නවා.. මට කලින් කට ඉස්සර උනා..


"ඇයි අංකල්?"..

පිළිතුර ආලවන්ත කෝලවන්ත බැල්මක්.. චික්... පොර ගියර් එක නියුට්‍රල් කරගෙන මං ඇවිදින වේගෙට...

"ඇයි අංකල් මොකද්ද ප්‍රශ්නෙ?"
මං කිණිසි පාරක් වගේ බැල්මක් මදක් නැවිලා ඇරපු ෂටරය කඩාගෙන යන්න දුන්නා..


නැවතත් අසරණ කෝල බැල්මක්... මට හරියට පෙණුනෙ ඩ්‍රයිවර් සීට් එකේ තඩි ගෙම්බෙක් ඉන්නවා වගේ..

වික්ශිප්ත වූ ප්‍රශ්නාර්තයක් එක්කම නැවතත් මට පෙර කට..

"අඃ.. අංකල් කිව්වට සීයා කෙනෙක්.. සොරි.. ඇයි?"

පොර ගාලු පාර පලාගෙන වගේ ලෑල්ලට පාගලා ගියා..



කතාවේ දෙවෙනි කොටස වුනේ හවස් වරුවේ.මං නංගිත් එක්ක නැවත දෙහිවලට ගියා. යද්දි මං එයාට ඔය කතාව කිව්වා..


"හහ්.. කුඩයක් ඉහලගෙන පර්ස් එකක් අරගෙන යද්දි කාර් නවත්තන එක පුදුමයක් යැ? තව ලේන්සුවකුත් තිබුණනම් මරු" ඒ නංගිගෙ අදහස..

"ලේන්සුවත් තිබුණා නේන්නම්.. :-( "

"ඉතිං හරිනෙ..." ඈ හක හක ගා හිනා උනා..

මට පොළව පලාගෙන යන්න හිතුනා..

"මං ඇත්තටම දැනගෙන හිටියෙ නැහැ ලෝකෙ පැරණිතම ස්වයං රැකියාවට යුනිෆෝම් එකක් තියන බව... "
"යුනිෆෝම් එක දැන් සාමාන්‍යකරණය වෙලා.. ඉතිරි වෙලා තියෙන්නෙ ඔය අයිටම් තුන විතරයි.. කුඩෙයි, පර්ස් එකයි, ලේන්සුවයි"


අනේ කාලේ.. වනේ වාසේ!!!!

අපි රටට ණයද? නැද්ද? (කිට්ටුවන්ත පාඨකයෙකුගේ අදහසක්...)

Comments: (17)
මං ලියන දෙවල් ගැන ණය ගැති වෙන කීප දෙනෙක් ඉන්නවා.. ඒ අතරින් අදටත් මං ලියන දේ කියවන කිට්ටුවන්ත පාඨකයින්ගෙන් කෙනෙක් තම්යි අපේ ගෙදර ප්‍රධාන ක්‍රතෘ තුමිය... අවුරුද්දට වැඩ අල්ලලා ඔහේ ඉන්න ගමන් මං මේ සටහන් ටිකක් එතුමියට කියෙව්වා..
ඒ අතරින් "මං රජයේ සේවකයෙක් නොවුණ හැටි" කියන පෝස්ට් එකට ගුරුතුමියක් වන පාඨකතුමියගෙන් ලැබුණ කමෙන්ට් එක ඔයාලත් එක්ක බෙදා ගන්න මට හිතුණා.. මොකද අර "නිලධාරියා හරි" කියලා ලැබුණ ඇනොනිමස් කමෙන්ට් එක එතුමියගෙ සිත් ගත්තා...

"උසස් අධ්‍යාපනය ලබන්න මූලික අඩි තාලම දාගන්න තමයි ළමෙක් විශ්ව විද්‍යාලෙ යන්නෙ. එතනින් පටන් අරන් යන්න ගොඩක් දුර තියනවා.. ඒක ඉගෙනීමෙ අවසානය නෙවෙයි..ආරම්භය"
(ගුරුතුමියක් නිසා පාඨකතුමියගෙ කමෙන්ට් එක ටිකක් දිගයි..)

"ළමයි කොටස් කීපයක් ඉන්නවා.. සමහරු නිදහස් අද්යාපනයෙන් ඉගෙනගෙන උපාදිය සම්පූර්ණ කරලා මාස්ටර්ස් කරන්න පිට රට ගිහින් නවතිනවා.. ටික දෙනෙක් ආපහු එනවා.. "


"සමහරු පිටරට ගිහින් උපාදි කරලා එහෙම්මම දියුණු රටකට යනවා"

"සමහරු තමන්ගෙ මුදල් වියදම් කරලා ඉගෙන ගෙන තමන්ගෙ තරුණ ජවය..දැනුම, ශක්තිය උපන් රටට දෙනවා" (තුන්වෙනි කොටසට ඇය අදහස් කරන්න ඇති ලංකාව තුළදි SLIIT, NIBM ආදියෙහි ඉගෙන ගන්න අය සහ විදේශ විවි වල ඉගෙන ගන්න අය )
 
"සමහරු පළමු උපාදියෙන් ඉගෙනීම 'සම්පූර්ණ' කරලා සාමකාමී සරළ ජීවිත වළට එළඹෙනවා.. ඒ අයගෙන් බොහෝ දෙනා තව අහවල් දේත් තිබුණානම් හොඳයි කියා හිතනවා"
 
ටික වෙලාවක නිහැඬියාවකින් පස්සෙ .. හුස්මක් අරන් තීන්දුව දෙනවා..................


"ඔයා රටට ණය නැහැ!!!!"

සුභම සුභ නව වසරක් වේවා!!!

Comments: (4)


සාමය සතුට රජයන,
අදහස් ඉතිරෙන...
එකිනෙකාගේ සැනසුම සුසුම දැනෙන..
සුභම සුභ නව වසරක් වේවා!!!

අපේ කතා බහේ ඉතුරු ටික.. (රජයේ සේවකයෙක් නොවුණ හැටී )

Comments: (4)
මේක පසු වදනක්..

මට මෙහෙම හිතෙනවා වත් ගෙ අදහස ගැන.. දොස්තර වරු, නර්ස් ලා, ගුරුවරු මේ අයත් රජයේ සේවකයො.. මේ අය නැතුව අපේ පැවැත්මක් නැහැ..ඒක අවිවාදාත්මකයි. ඒ අපිට සේවා සපයන අය.. අර පොඩි කාලෙ පරිසරයට ඉගෙන ගත්තෙ?.. මතකද? මෑත කාලීනව දැක්ක විදියට මේ අය ඉතාම හොඳ කාරුණික සේවයක් සපයනවා.

මං මෑත කාලීන කියන වචනෙ කිව්වෙ, මට මතකයි අපි පුංචි කාලෙ තාත්තා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නිලදාරියෙක් විදියට වැඩ කළා. දවසක් අපි දුර නෑදෑ ගෙදරක ගිහින් එන ගමන්, වාහනයක් සොයමින් හිටිය අමාරු ලෙඩෙක්ව ඉස්පිරිතාලෙට ගෙනිච්චා..කාර් එකේ පස්ස දොර ඇරගෙන ලෙඩාගෙ අයිතිකාරයා ඉස්සෙල්ල බැස්සා.. උපස්ථායිකාවක් අත් දෙක බැඳගෙන "කෝ ඔය ලෙඩා බස්ස ගන්නකො.. ඇවිදින්න පුළුවන්න්නෙ?" කියලා කුසීත කමින් අහද්දි තත්තා වාහනයෙන් බැස්සා.. අසුරු සැණින් රෝද පුටුද උපස්තායකයින් ද වැහි වැස්සා..

අද ඇත්තටම මේ තත්ත්වෙ වෙනස්.. ඉඳුරාම වෙනස්.. සෞඛ්‍ය සේවය අනර්ඝයි... අනිත් සේවයනුත් ඒ තරමට දියුණුයි..

එතකොට මං ඇඟිල්ල දික් කරන්නෙ කාටද?


හරි!!! කාර්යාල වලට.. හැබැයි හැමෝටම නෙවෙයි..පැහැදිලිවම අර කලින් පෝස්ට් එකේ වගේ නිලදාරින්ට.. අපරිණත (පරිණත වෙන්න උවමනාවක් නැති ) වෘත්තිකයන්ට.. 
අපිට හිතන්න වෙනවා සෞඛ්‍ය වගේ සේවාවන් දියුණු වෙන්නත් මේ මහත්තුරු එක තැන පල් වෙන්නත් හේතුව.. මට හිතෙන්නෙ සේවාවන් දියුණු කරද්දි ඒ අය පුහුණු කරන පාඨමාලා වල ආචාර ධර්ම උගන්නනවා.. තරඟ විභාග වලින් එන අයට මේ වාසනාව කොයිතරම් තියනවාද කියලා මං දන්නෙ නැහැ.. 
 
මගේ රියදුරු බලපත් නැතිවෙලා සෑහෙන කල්.. අදාල කාර්යාලයට ගිය දවසක් ඇත්නම් "නෝනා" නිවාඩු, කනවා, තේ බොනවා, පොඩ්ඩකට එලියට ගිහින්..


ඒ අතරම ආගමන විගමන දෙපාර්තමේන්තුව වගේ විශිෂ්ට තැන් තියනවා..

මං හැමදාම හිතන දෙයක් තමයි ග්‍රාම සේවකය ඇයි ඊමේල් නැත්තෙ කියලා.. අපොයින්ට්මන්ට්  ගන්න.. අවශ්ය දේ කියන්න.. ඕන කරන ලියවිලි කලින්ම ලෑස්ති කරගෙන යන්න... ඒක කොයි තරම් අගේ ද?
 
අපි මේ වගේ දේවල් කොයි තරම් ලස්සනට ඊමේල් වලින් හසුරවනවද?තැපැල් ගාස්තු නැහැ.. ප්‍රමාද නැහැ...
 
ඔය අරවා මේවා මොනවා නැතත් හිත පිරෙන්න වැඩ කරලා දෙන මහත්වරුන් නෝනා වරුන් ඉන්නවා.. මට දුක ඒ අයට යි අනිත් අයටයි එකම හැන්දෙන් බෙදන එක ගැන..


ලියනවානම් තව හෑලි ලියන්න පුළුවන්.. දැනට ඕක ඇති... :-)

මං රජයේ සේවකයෙක් නොවුණ හැටි...

Comments: (12)
මේ පෝස්ට් එකට උත්තේජකය උනේ.. කලින් පෝස්ට් එකට රවා දාපු කමෙන්ට් එකක්...... කතාව මේකයි..

ජීවිතේ වසන්ත කාලෙ උදා වේගන එද්දි මං ඒ ලෙවල් පාස් වෙනවා.. යාන්තම් ජාම බේරෙන්න..මොකද.. ශිෂ්‍ය නායක කම් අරවා මේවා තිබ්බ නිසා මට නං ඔයින් ගියා ඇති..ඉතිං මම ඊළඟ සැරේ විභාගෙට ලෑස්ති වෙන අතරෙ අහඹු සිදුවීම් මාලාවක ප්‍රතිඵලයක් ලෙසට මං දිල්ලි සරසවියෙ ශිෂ්‍යාවක් බවට පත් වෙනවා..

කොහොම හරි මං මගේ ජීවිතේ ස්වර්ණමය යුගය අරඹන්නෙ ඊටත් ටික කාලෙකට පස්සෙ.. ඒත් අහඹු සිදුවීමක් ලෙස මගේ සඳ මුණ ගැහුණට පස්සෙ.. මුල් කාලෙ මං උදාසීන කමින් ඉගෙන ගත්තට පස්සෙ හරි ගියර් එකට එනවා.. දහසක් ප්‍රශ්න මැද්දෙ මං උපාධියක් සම්පූර්ණ කරද්දිම, සඳ මාව වෘත්තිමය මාස්ටර්ස් එකකට රෙජිස්ටර් කරනවා... එතැන් සිට මං හුඟක් දේවල් ඉගන ගන්නවා... හුඟක් පරිණත වෘත්තිකයින් ඇසුරු කරනවා...මේ අතරින් පතර හරි හරි කතා ගොඩක් තියනවා.. මතක් වෙන වෙන ගානට ඒවා ලියන්නම්...

ඉතින් අදට අවුරුදු කීපයකට කලින් හා පුරා කියලමද කොහෙද ආන්ඩුවෙන් උපාදි ධාරී රස්සාවල් දෙන්න සම්මුඛ පරීක්ෂණ තියනවා.. මාත් ඒකකට යනවා...


මාව පරීක්ෂණයකට ලක් වෙනවා..

මොකද්ද උපාදිය? බයොලොජි
මොනවද දක්ෂතා? ......................
කොහෙද යුනිවසිටි එක? දිල්ලි
මෙහෙ යන්න ලකුණු මදි උනාද? ඔව් ටිකක්..


(නිලධාරියා එම්බෝස් වී හිඳගෙන සිටි පුටුවෙන් කොන්ද කෙලින් කර ගනී)

"ඒ කියන්නෙ අපේ ළමයි පාඩම් කරලා යුනිවසිටි යනවා.. ඔයාලා ෆේල් වෙලා සල්ලි දීලා උපාධි අරන් පාස් වෙන ළමයින්ට කියලා සර්/මැඩම් කියව ගන්නද කල්පනාව?.."

මං තනි වචනෙන් උත්තරයක් දුන්නා... "ඔව්".. මං ෆයිල් එක ගත්තා.. ගෙදර ආවා.. ඊට පස්සෙ කීප වතාවක් මං තරඟ විභාග වලට ලිව්වෙ අම්මව සතුටු කරන්න.. මං පාස් වුනා.. මේ චන්දෙට විභාගය.. ඊළඟ චන්දෙට ප්‍රතිඵල.. 2006 ලිව්ව විභාගෙ සම්මුඛ පරීක්ෂණය 2009 තිබ්බා.. ගිය අය කිව්වා ඒක අවලංගු උනා කියලා.. හිටි ගමන් ආරංචි වෙනවා ඒ පත්වීම් දුන්න කියලා..

මං අදට පුද්ගලික උසස් අධ්‍යාපන ආයතනයක විභාග කළමණාකරණ කටයුත්තක නියැලෙනවා..


විටින් විට නෑදෑයො වැඩිහිටියෝ හම්බුනාම රජයෙ රස්සාවක වැදගත් කම ගැන දේශනාවක් ලැබෙනවා.. නිකන් ලැබෙන අවවාදෙනෙ .. මාත් අහගෙන ඉන්නවා..

පෙන්ෂන් එකක් තියන.. නිවාඩු තියන... එච්චර වැඩ නැති .. රස්සාවක් ගන්න .. පොඩි උත්සාහයක් කරන්න තියෙන්නෙ...

ඒත් මුල ඉඳළම මුල් බැහැගත්ත අකමැත්ත මහා යෝධයෙක් වගේ නැගී හිටිනවා..

මට ඕන වෙලාවට රස්සාව වෙනස් කරන්න පුළුවන්.. මගෙන් උපරිම ප්‍රයෝජන ගන්නවා.. ජොබ් මාකට් එකේ ඩිමාන්ඩ් එක හොඳයි... තරඟකාරියි...අලුත් තාක්ෂණය හොඳයි.. සජීවී මිනිසුන් මුණගැහෙනවා.. ජීවිතේ ගෝ එකක් තියනවා... (මට හිතෙන්නෙ එහෙමයි )


ඔන්න ඔහොමයි මං රජයේ සේවකයෙක් නොවීමේ කතාව...

ඇත්ත ජීවිතේ හැංගිමුත්තං සහ හොරා පොලිස්..

Comments: (4)
පුංචි කාලෙ හොරා පොලිස් හැංගිමුත්තං කරන්න මං ආසා නැහැ.. මට වෙනම සෙල්ලම් සෙට් එකක් තිබුණා... ඉස්කෝල දාන එක.. බත් උයන එක.. සැලඩ් හදන එක.. (අදටත් මං ආසම දේ තමයි මං උයන දේ අනිත් අයට කන්න දෙන එක )

ෆිල්ම් බලන්න ගියත් මං ආසා නැහැ ගහගන්න ඒවට..ඒ උනාට අහම්බෙකින් හරි හොරා පොලිස්, හැංගිමුත්තං කරලා පලපුරුද්ද තිබ්බ එක හොඳයි කියලා තේරුණේ අද..

අද උදෙන්ම නමෝ විත්තියෙන් කියලා මෙහෙයුමක් පටන් ගත්තා.. මොකද දින කීපයකට ඉස්සෙල්ලා මට ආරන්චියක් ආවා අපිට අයිති දේ කොල්ල කා ගන්න ලියවිල්ලක් අස්සන් වෙලාතියනවා කියලා... මම බැක්ග්‍රවුන්ඩ් රිසර්ච් කළා..

ඔයාලා කියවලා ඇති අර සත්ථිකුම්භ ජාතකය?... අර ගිරා පැටව් දෙන්නගෙ කතාව... ඉතින් මට ඉන්නවා ඔය වගෙ බාප්පලා දෙන්නෙක්.. මේ කතාවේ නායකයා සත්ථිකුම්භ.. තව පුරෝහිතයෙකුත් ඉන්නවා... මොන වැඩේට ගියත් මට හිමි වෙන්නෙ දුෂ්ටයාගෙ චරිතෙ... දුෂ්ටයා ගෙ ඇසිස්ටන් තමයි අපේ අම්මි...


උදේ 7 වෙද්දි හා හාපුරා කියලා පළමු ඇමතුම.. එකඟයි.. හරිම ස්වීට්... පුරෝහිතගෙන් අපොයින්ට්මන්ට් එක.. ඒකත් හරි...නිල වාහනය.. ඒකත් හරි...
 
දවල් 11 වෙද්දි හරියටම සත්ථිකුම්භයි, මායි මගෙ ඇසිස්ටනුයි පුරෝහිතගෙ දොරකඩ.. සත්ථිකුම්භ හාං කවිසියකිං වත් හිතුවෙ නැහැ කාපුවා වමාරන්න වෙයි කියලා... වමාරද්දි පුරෝහිතය හීන් දාඩියයි මහ දාඩියයි දෙකම දාලා කමිසය මුලුමනින්ම තෙමුණා.. මගේ මෙහෙයුම සාර්ථක උනා.. පුරෝහිතගෙ උදව්වෙන් සත්ථිකුම්භ හදපු කොලේට කියන්නෙ දිවුරුම් ප්‍රකාශයක් කියලා.. කෙටියෙන් කියනවානම් දිවුරුම් පෙස්සමක්.. මං නං කියන්නෙ පෙස්සමක්...
 
මං දැක්කා එක්තරා ඇරුණු ඉස්කෝලෙක සුදුසු කම කියන්න පිංතූරයක් පුරෝහිතගෙ සාලෙ තිබුණා.. මට සංවේගයක් උපන්නේ ඒ ගැන... වෘත්තිමය සුදුසුකම් දෙනකොට අපේ රටේ කොයි තරම් වෘත්තිය සදාචාරය උගන්නනවද කියලා... සල්ලි දෙනවානම් ඕනෙම කුණක් කරන තරමට දුක් විඳලා ගන්න සුදුසු කමක් බාල්දු කරන්නේ ඇයි?..
 
නොමේරූ වෘත්තිය සදාචාරය නිසා තමයි අපේ රටේ සත්ථිකුම්භලා රජ වෙන්නෙ...




ඔයාලට මොකද හිතෙන්නෙ?

ආරෝග්‍යා පරමා ලාභා... ඇත්තමයි!!!

Comments: (2)

මේක තේරෙන්න ලෙඩ වුනාටම විතරක් මදි... තමං ලෙඩ උනාම මට දැනෙන්නෙ මං හරි සංවේදියි කියලා..


සමහර වෙලාවට මං ලෙඩ වෙලා හොඳ වේගන එද්දි අම්මා ලෙඩ වෙනවා.. එතකොට ඉතිං ඔක්කොම වැඩ මගෙ පිට..සමහර වෙලාවට කේන්තිත් යනවා..


මේ සැරෙ වුනේ වෙනස් වැඩක් . අම්මා ලෙඩ වෙලා ඉන්දැද්දී මං ලෙඩ උනා... කවදාවත් නැති තනි කමක් දැනුණා.. එතකොට ඇත්තටම දැණුනෙ අසරණ කමක් නෙවෙයි.. බලාපොරොත්තු සුන් වෙච්ච ගතියක්..



අපි කොච්චර නං සමීපතමයන්ගෙන් මානසිකව යැපෙනවද?

ඔන්න මං ආයෙත් ආවා... දැන් කොමෙන්ටු පෙට්ටිය හරි...

Comments: (10)

පහුගිය දවස් ටිකේ නොකිව්වට මොකද පොඩි හිතේ අමාරුවක් තිබුනා... කවුරුත් මං දිහා ඇහැක් ඇරලා බලන්නෙ නැති හැටි?... .......... ඉතින් ඔන්න ඔහොම කාලාන්තරයක් ගත වෙද්දි තමයි ජීවිතේ මල් ට හඳ පානෙ රවුමක් යන්න හිතිලා තියෙන්නෙ.. මදැයි කොළා... පුරසඳට කොමෙන්ට් දාන පාර වහලලු..
ජීවිතේ මල් මේක කියන්න බස් ගානකින් මාරු වෙලා.. මගදි පාර වැරදිලා.. ආයෙ අහගෙන අහගෙන.. මාව හොයාගෙන ආවා... ඇවිත් තේකක් එහෙම බීලා පවන් සල සල ඉන්න ගමන් තමයි මේ සංගැදිය කිව්වෙ...

දැන් ඔන්න හරි...


ආයෙත් ඉතිං වහංගන්නෙ නැතුව හිතට එන දෙයල් කියලා වැඩක් නැහැ කියලා හිතුනොත් ලියලා තියන්න...

සංස්කෘතිය ගානට මාකටින්...

Comments: (1)
ඉතිං අර අවුරුදු කුමාරියෝ ගැන කියද්දි ඔයවගේම තවත් පිස්සු ලෙවල් විහිළුවක් තමයි කජු ගම කජු ලියෝ... පව් දෙය්යනේ.... ලාබෙටම ගන්න පුළුවන් පච්ච වඩම් රතු පාට රෙද්ද හැට්ටෙට දාර සයිස් මොට්ටුව කොයි තරම් නොගැලපෙනවද කියලා බලන අපිට මිස අසරණ ඔවුනට පෙනෙන්නෙ නැහැ...

මේ අතරෙ ඔය පල්ලෙහා පිංතූරෙ ඉන්න ගෙවිළිය මට මුණ ගැහුණෙ ඇමරිකාවෙ වර්ජිනියා ප්‍රාන්තයෙ දි...


අපි තේමා උද්‍යානයකට ඇතුල් වෙද්දි ඇය කවුදෝ එනකම් මග බලාගෙන හිටියා.. වෙහෙස නිසා දෝ ඇය අපිත් සමඟ ඇගේ ගොවිපොළ මැද තිබුණ කුඩා නිවසට යන්න හැරුණෙ මැසිවිල්ලක් කියමින්...


ඇගේ සැමියා කඩපොළට ගිහිං.. ඇගෙ ඉරුණු ගවුම එළලන්න ඉදිකටු, තව කුළුබඩු.. මේ ආදි බඩු ලැයිස්තුවක් ඈ කියාගෙන කියාගෙන ගියා... එක හුස්මට කියාගෙන ගිය අඳෝනාව ඉවර කලේ... මේ සියළු දෑ ගෙන එන්න ඇය ඩොලර් එකක් දුන් බව කියමින්...

දෙය්යන්ට ඔප්පු වෙච්චාවෙ!!! මේ සකළ මනාවටම ඩොලර් එකක්!!!!
 
අපටත් නොදැනීම මැසිවිල්ල දිගේ ඇය අපිව 17වන සියවසට අරං ගිහිං..
 
ඇමරිකාව කියන්නෙ සියවස් කිහිපයක පමණක් හරි හමං ඉතිහාසයක් තියන.. සංස්කෘතිය හුවා දැක්වීමේදී ආසියාතික පහනින් එළිය බලන දේශයක්... එයාලා ඒ කෙටි ඉතිහාසය ලස්සනට present කරනවා, market කරනවා..
 
ඒ අතරෙ.. අපි.. අවුරුදු කාලෙට සුපිරි වෙළඳ හල් වල කෙල්ලන්ට "L" බෝඩ් ගහලා චීත්ත හැට්ට ඇන්දෙව්වට සංස්කෘතිය රැකෙනවද?...Cultural Marketing කියන එක සිද්ද වෙනවද?
 
අනේ මංදා....

ගෙල වැල ලා ගත් අවුරුදු කුමාරියෝ....

Comments: (0)


අවුරුද්දත් කිට්ටු කිට්ටු නිසා හැම තැනම අවුරුදු සංකෙත වැහි වැහැලා... කොළොම්පුරේ ට තාම ඒකෙ එච්චර වගක් නැති උනාට, නුවර පළාතෙ අවුරුදු සිරි ඉතිරෙන්න පටං අරං..
හදි හදිස්සියෙන් උනත් නුවර ටවුමෙ රවුමක් දෙකක් ගියාම තමයි තේරෙන්නෙ අවුරුදු ජයයි කියලා.. නගර කේන්ද්‍රයේ දොරකොඩ රබානක් වැයෙනවා... මුලු නුවරම ගෝසාව නිසා රබානට උඩින් මයික් එකක් සෙට් කරලා සවුන්ඩ් කොන්ට්‍රෝල් කරලා බලෙන්ම වගේ අහන්න සලස්සනවා...
මුළු නුවරම ජනතාව සාන්ද්‍රනය වෙලා තියෙන්න දළඳා වීදියට.. ඔයාලා හිතයි දළඳා වඳින්න කියලා.. සාධුකාර දෙන්න කාරි නැහැ... දළඳා වීදියී තමයි පදික වෙළඳාම සරුම.. කොට කලිසමේ සිට දිග කලිසම දක්වාත්.. බතික් ඔසරියේ සිට සෙරෙප්පු කුට්ටම දක්වාත්.. කොරොස්, ඇතිලි, ටින් කටර්.. මෙකී නොකී සියලු අවශ්යතා එකම වහලක් යටින් ගන්න පුලුවන්.. ( මෙතන ඇත්තටම ඉටි රෙදි එකට යා වෙමින් වහලක් නිර්මාණය වෙලා)
දැන් හැම සුපිරි වෙළඳ සලක් ම ආල වට්ටං දාපු වට්ටම් අවුරුද්දට කියලා හිත පිරෙන්න දෙන නිසා මමත් එයින් කීපයකටම ගොඩ උනා..
ඔන්න ඒවයෙ තමයි අවුරුදු...ගැමි සුවඳ වෑස්සෙනවා...

හැම කෑෂ් කවුන්ටරයක් ඉස්සරහම ගැමි ළඳක්.. චීත්තයක් හැට්ටයක් ඇඳලා.. කොණ්ඩ පොඩියක් බැඳලා.. සරම කමිසෙ ඇඳපු මානවකයෙකුගෙ ආදාරයෙන් කස්ටමර් සර්විස් කරනවා..
ඒ අතරෙ අහවල් බැංකුව එක්ක ගනුදෙනු කරනවද කියලත් අහනවා.. මට මුණ ගැහිච්ච ළඳ ගෙ ටින්ට් කරපු කොන්ඩ රැල්ල කනේ රඳවන්න ගිහිං කොහොම හරි මගෙන් බැංකුවේ විස්තරේ ඇහුවෙ ටිකක් පමා වෙලා.. මම ඔවු කිව්වා... එක වරටම ඇය ගැමි බව විදහා පාමින් "ඕ ෂිට්!!!! " කිව්වා... ඔය අතරෙ පං කොල වට්ටි වල ෂම්පු, බොඩි වොෂ් දා ගෙන ප්‍රමෝෂන්...
කොහොම හරි අවුරුදු උද්දාමය ඔද්දල් වෙච්ච ඕලාරික හැඟීමකින් මම රෝද තුනක නැගී නිවස බලා එද්දි, බෙහෙත් පෙත්තක් ගේන්න කිව් බව මතක් උනා.. ඉතින් තවත් සුපිරි වෙළඳ සලකට..
ගිනි මද්දහනෙ.. ඇස් නිලංකාර වෙලා තියෙද්දි මං හනි හනිකට ෆාමසියට ගොඩ උනා.. කිසියම් ගුප්ත භයංකර රසයකින් යුත් සැරසිල්ලක් ඇස් කොනින් දැක්ක නිසා පොඩි තිගැස්සීමක් දැනුනත් කෙලින් බලපුවාම තමයි තේරුණේ.සුපිරි වෙළඳ සැලේ බඩු රාක්ක වලට උඩින් බැඳපු මල් වැල් ඔන්චිල්ලා වල පපට් ලියන් ඔන්චිලි පදිනවා.. බැලු බැල්මට මනාව නිමවා නැති මේ උඩවැඩියාවන් පෙනෙන්නේ ගෙල වැළ ලාගෙන ඇස් උඩ තියාගෙන ඉන්නා සෙයකුයි..
මේ අඬෝවැඬියාව මෙතනින් නවත්තන්නං... මේ වගේ නෙයියාඩගං දකිනකොට මට මතක් වෙන පුංචි සිද්දියක් තියනවා.. කතාව දෙපළු කරලා හැකි ඉක්මණින් ඒකත් කියන්නම්...


ප.ලි.: අපි අතීතය වැළඳ ගනිද්දි.. අනාගතය වැළඳ ගන්නවාට වඩා පරිස්සම් වෙන්න ඕනෙ.. එහි හරය.. සාරය.. අවබෝධයෙන් දැකිය යුතුයි... මොකද...? සංස්කෘතිය සහ වෙළඳ ලෝකය ගැටෙන්නේ එතකොටයි..අළෙවිකරණය අසාර්ථක වෙන්නේ ඔතැනදියි.. ඔතන තියෙන්නෙ පුංචි දෙයක්..අනාගතය වෙනස් කළ හැකි මුත් අතීතය වෙනස් කළ නොහැකියි..