දරු සෙනෙහසට කව් ගී ලියවුනා මදී...........

Comments: (14)
ඉතාම සිත්ගන්නා සුළු සංවේදී ගීයකින් "පිය සෙනෙහසට කව් ගී ලියවුනා මදී" කියලා මලිනි ජයරත්නයන් කියනවා.. ඒත් "යෝද ඇලේ වීරිය වුන අප්පච්චී" "ගෙඩි සියයක් බිම හෙලුවත්" "මිදුලේ වැලි මාලිගාවෙ" වගේ ගීත මට මතක් වෙනවා..


හැබැයි දරු සෙනෙහසට නම් කව් ගී ලියවුනා හොඳටම මදී...... මට එහෙම කියන්න හිතුනා. මම කියන්නෙ දරුවන්ගෙ හිතේ අම්මා තාත්තා ගැන උපදින ආදරය ගැන.. ඒකට කියන වචනයක්වත් තියනවාද කියලා මට ඔලුවට එන්නෙ නැහැ.. "දරු සෙනෙහස" කියන්නෙත් දෙමව්පියො දරුවන්ට දක්වන ආදරයට..


මං දන්න "දරුවන්" 75% කට වඩා වැඩි ප්‍රමාණයක් තමන්ගෙ දෙමව්පියන් වෙනුවෙන් සාමාන්‍ය රටාවෙන් ඔබ්බට ගිහිං කැප කිරීම් කරන අය... පුංචිකාලෙ අම්මලා තාත්තලා දීපු දෙවල් වලට මානසික ණය ගෙවන අය.. බොහෝ දෙනා ඉතා ඉහළ පොලී අනුපාතික වලට යටත් වෙලත් සතුටින් ඒ දේ කරන අය.. (ඔයාලා එකඟ වේද මන්දා? )


මං ඊයෙ සෙනසුරාදා දවසෙ හිමීට කල්පනා කරලා බැලුවා මේ ගැන.. මේ කිසිම දෙයක් සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවෙන් ගත්ත දත්ත නෙවෙයි... පුද්ගලිකව මං දන්නා අඳුනන "දරුවන්" ගෙ ලිස්ට් එකක් හදලා පොඩි සර්වේ එකක් කරලා බැලුවා... ඒකෙ ප්‍රතිඵල තමයි ඔය කිව්වෙ..




"මහළු දෙමව්පියන් වැඩිහිටි නිවාස වලට යැවීම කියන්නෙ සමාජමය ප්‍රස්නයක් බවට පත් වෙලා.." දෙමව්පියන් ගැන කතා කරද්දි ඕක තමයි හොඳටම මාකට් කරන්න පුළුවන් කතාව...
 
 
 
තවත් කියනවානම් "ඒ නිසා ආච්චිලා සීයලා දරු මුණුබුරන්ට දෙන සුන්දර ළමා අත් දැකීම අපේ දරුවන්ට නැති වෙලා.. " කතාව මෙහෙම දිගට දිගට යන්න පුළුවන්..
 
 


මං පහුගිය අවුරුදු 10-12 කාලෙ අරන් බැලුවා... (මේ කාලෙ මගේ රාමුව විදියට අහු වෙන්නෙ මේක මං වැඩිහිටි "දරුවෙක්" විදියට ගත කරපු කාලෙ නිසා වෙන්න ඇති ) දරුවන් ලොකු මහත් වෙද්දි.. දෙමව්පියෝ උන්ගෙන් "නිදහස්" වෙන කාලෙ වෙද්දි, ඔවුන් ආවේණික නොවුවත් එකිනෙකාට සුවිශෙෂී පොදු ගැටළු වලට මුහුණ දෙනවා...
 
 
දියවැඩියාව.. පිළිකා.. ඔත්පළ වීම්... නීතිමය ප්‍රශ්න.. මානසික ප්‍රශ්න.. රැකියා අහිමි වීම්... විශ්‍රාම වැටුප මදි නිසා තවත් රැකියා කිරීම්... දරුවන්ට දෙන දේ දුන්නාට පසු අසරණ අඩපණ වීම්.. මේ තියෙන්නෙ ප්‍රස්න වලින් සමහරක්...
 
 
දරුවන් බොහෝ දෙනෙක් ජීවත් වෙන්නෙ දෙමව්පියන්ගෙ මේ වේදනාව පපු කුහරයේ රඳවාගෙන.. ඔයාලා එකඟ වෙයිද මන්දා?


අනේ... කාටහරි පුළුවන්නම් මගේ හිතේ තියන ගීතය ලියන්න.............?
 

හාෆ් ෂීට් එකක් නැති පොලෝසිය... "හෙට එන්න"

Comments: (10)
මේක මට ගිය සතියෙ ඇත්තටම වෙච්චි එකක්...


මගේ ඩ්‍රයිවින් ලයිසම නැති උනා ටික කාලෙකට කලින්... ටික කිව්වට ටිකක් මත් නෙවෙයි. ඉතින් ඔන්න අපේ ආණ්ඩුවෙන් කාර් එහෙම ලාබ කළාට පස්සෙ.. මට ඔය ලයිසොමේ වටිනා කම ටික ටික තේරෙන්න ගත්තා..


දත් සිල්පය පෙන්නල තමයි ලයිසොම ගත්තෙ.. හැබැයි මට ඉන්න අර අණ්ඩපාල මල්ලි කියපු කේළමක් නිසා මට ඩ්‍රයිව් කිරීමේ වරම අහිමි උනා.. ඔය අහිමි වීමෙන් ටික කාලෙකට පස්සෙ ඉගෙන ගන්න රට ගියායින් ඔන්න ඉතින් සුක්කානම මට නොදන්නා මිත්‍රයෙක් බවට පත් උනා...ලයිසමත් එක්ක පර්ස් එක පොකට් ගහලා දැනට අවුරුදු අටක් විතර.. ඉතින් මේ වැල් වටාරම් ටික සංක්ශිප්ත කළාම කොටින්ම මට ලයිසන් තිබ්බට එලවන්න බෑ... ( හිකිස් )
 
 
මේ ලයිසම හදා ගන්න කියලා හිතලා දාන තුන්වෙනි පොලිස් එන්ට්ට්‍රිය දාන්න ඔන්න මම ගිය සතියෙ අහල පහල පොලිසියකට ගොඩ උනා..
 
 


පළවෙනි එන්ට්‍රිය දාද්දි නං එන්ට්‍රිය දාල කොපිය ගන්න මාසයක් විතර ගියා.. දෙවෙනි එන්ට්‍රිය දාද්දි ඔන්න කාබන් කොපියක් පහුවදාම දුන්නා..ඔය සිද්දි දෙකම උනේ නුවර..
 
 
 
මෙදා සැරේ ඔන්න කොළඹ මහනගර සභාවක එන්ට්‍රිය දැම්ම කියමුකො.. එන්ට්‍රියේ වචන 100 යි... ඒකෙ කොපිය ගන්න වචන 100ක විතර ලියුමක් ලියන්න ඕනෙ.. ඔන්න ඉතින් මං ලියුම ලියන හැටි හිතන ගමන් එතන හිටිය මිස් ගෙන් ඇහුවා හාෆ් ෂීට් කොලයක් ගන්න පුලුවන්ද කියලා... "හාෆ් ෂීට් කොළ නැහැ.. කබඩ් එකේ තියනවාද දන්නෙ නැහැ ලොක් කරලා තියෙන්නෙ...".. දැන් ඉතින් මොකද කරන්නෙ.. වෙලාව 4.00 යි..
 
 


මං ඉතිං ළඟම තියන යාලුවෙක්ගෙ ගෙදරකට ගිහින් කොලයක් ඉල්ලන් ලියුම ලියාගෙන ආවා.. 4.25 යි..පාලන අංශයට දෙන්න කිව්ව නිසා කෙලින්ම එතෙන්ට ගියා.. මේස පුටු 10ක් විතර කැරකෙන පංකා වලට යටින් තිබුණා.. කවුරුත් නැති නිසා එලියෙ කවුන්ටරේ හිටිය රාලහාමිගෙන් විමසීමක් කළා.. " දැන් 4.25ත් පහු වෙලා.. එයාලා නාන්න ගිහිං.. හෙට එන්න".. "සර් මං ජොබ් එකක් කරන කෙනෙක්.. පුළුවන්නම්..."                  "එක සැරයක් කිව්වනෙ හෙට එන්න" ..
 
 
රාළහාමිට "හෙට එන්න" කියන්නෙ වචන දෙකක් විතරක් වෙන්න පුළුවන්.. ඒත් මට? කෙටි නිවාඩුව.. අවසරය.. රැස්වීම්... උදෙන්ම කරන්න තියන වැඩ....?

තමන්ගෙ මූණට අනන්‍යතාවය ගැනීම හෙවත් මූණුපොත

Comments: (1)

පුරහඳපානෙ රවුමක් යන්න වෙලාවක් තිබුණෙ නැති පහුගිය කාලෙ කරපු ඔබ්සවේෂන් එකක් ගැන හදි හදිස්සියෙන් උනත් උඩින් පල්ලෙන් වගේ කියන්න හිතුනා.. අපි හැමෝම ඇඹළයෝ වගේ එල්ලිලා ඉන්න මූණුපොත ගැන...


අපිට සමහර අය හඳුනාගන්න වෙන්නෙ හරිම පුදුම විදියට.
1. බාගෙට දන්න අය වැඩිපුර දැන ගැනීම
2. කාලෙකදි බාගෙට දැනගෙන ටච් එකෙන් ඉවත් වෙච්ච අය නැවත හොඳින් හඳුනා ගැනීම
3.පොඩි කාලෙ යාලුවෝ ලොකු වෙලා හඳුනා ගැනීම

4.දන්න දන්න අය ගැන වැඩිපුර අප්ඩේට් වීම
5. දන්න දන්න අයගෙ දන්න නොදන්න අය හඳුනා ගැනීම
6. ප්‍රසිද්ධ අය සමග මිතුරුවීම... (සමහර විට ප්‍රසිද්ද නම් තියන ප්‍රොෆයිල් සමග )
7. මිතුරු සමාගම්, කණ්ඩායම්, වේගවත් පණිවිඩ ගනුදෙනු, වෙළඳ ගණුදෙනු...

මෙකී නොකී දහසක් දේ
 
 
 
මං දන්න දන්න හුඟක් දෙනෙක්ට මූණු පොතෙන් ආවාහ විවාහ අරමුණු සඳහා උදව් කරලා තියනවා.. මූණු පොත හරහා ඇති වෙච්ච විවිධ සම්බන්ධ කම් ගැන කතා බහක් පටන් ගන්න හිතුණා.. මොකද දන්නවද... මන් දන්න දන්න කීප දෙනෙක් ඉන්නවා මූණු පොතෙන් අන්ඩ්ධ වෙච්චි අය... කොච්චර කිව්වත් තෙරුම් නොගන්න අය.. තමන් ගෙ CV එකට වැඩියෙ FB ප්‍රොෆයිල් එක වැදගත් කියලා හිතෙන අය.. (හැබැයි මටනම් CV එකක් කියවනවාට වඩා ප්‍රයෝජනවත් ඩීටේල් FB එකේ තියනවා)
මේකෙ තව එපිසෝඩ් කීපයක් එයි.. එතකන් හඳපානෙ ඇවිදිනකොට හිතෙන දේ කියන්න...

සන්නා අම්මාට නොදුන් රොටිය.....

Comments: (15)
පමා වූ වෙසක් ගැන කිය කිය ඉඳලා හදිස්සියේ නැගිටලා ගිහින් අහපු කතාවක් මේක... කිව්වේ උපුල් ශාන්ත සන්නස්ගලයන් (සන්නා)... ටෝමලින් හෝටලයේ සිට මගේ විසිත්ත කාමරයේ හිටපු මට...




සන්නා විශ්ව විද්‍යාලෙ ඉඳලා ගෙදර ගිය දවසක.. පහුවදා උදේ නැගිටලා පිච්චර් එකක් බලන්න සන්නා හදි හදිස්සියෙන් ලක ලෑස්ති වෙනවා.. මේසෙ උඩ වහලා තිබ්බ ලොකු රොටියක් ගිල දාපු සන්නා එලියට බහිද්දි අම්මා අහළ තිබ්බ තේ කෑල්ලෙ දළු කඩනවා...
"පුතේ.........." අම්මා සන්නාට අඬ ගහනවා.... " රොටියක් උයලා වහලා ඇති... මටත් කෑල්ලක් තියලා, කාලා පළයන්" අම්මා සන්නාට කියනවා... ඒ වෙද්දි සන්නා මුළු රොටියටම වග කියලා ඉවරයි...


උඩුවේ ධම්මාලෝක හිමියන් වටාපතින් දෑස වසා ගත්තේ.. ඇඬීම අකැප නිසා.... ටී එම්, වීජමු, රෝහණ බැද්දගේ ආදීන් බිම බලා ගත්තා... මමත් ඉන්ට නෙට් එකට මුවා වෙලා එතනින් නැගිට්ටා..

"මේ ණය මං ගෙවන්නෙ කොහොමද?" සන්නා ප්‍රශ්න කරනවා මට ඇහුණා..

පමා වෙලා වෙසක්....

Comments: (0)
"අදරයේ උල්පත වූ අම්මා.. මා ඔබගේ පුතු වූ මොහොතේ.. ඔබ මතු බුදු වන දවසේ...... මහ රාහුල කුමරුන් සේ..." වික්ටර් රතනායක පුත් ජයන්ත මහනුවර ටෝමලින් හෝටලයේ සිට මගේ විසිත්ත කාමරයට ඇසෙන්න ගයයි...

මට වෙසක් ලබලා.. මුළු ලෝකෙටම වෙසක් ඊයෙ උනාට මට හරියටම වෙසක් අද... මට ඊයෙ පොළව පලාන යන්න ලැජාවක් උනා.... ඒක දන්නෙ මං විතරයි.. මේක කියෙව්වට පස්සෙ ඔයාලත් දන්නවා...


ඊයෙ මට වැඩ.. මග අරින්න බැරි රාජකාරී වැඩ... මට විතරක් නෙවෙයි.. මගේ විභාග අධීක්ෂක මණ්ඩලයත් වැඩ... විභාගෙ කරපු ළමයින්ගෙ හිත් වල මොනවා තිබුණද කියලා කියන්න හරියටම බැහැ...
 
 
ඉතින්හවස 4 විතර වෙද්දි තමයි මං පියවි සිහිය එළවගෙන වෙසක් ගැන හිතුවෙ.. බෞද්ධ කොඩියක්.. වෙසක් කූඩුවක්.. මල් පහන් .. පන්සල්.. අපෙ අම්මිත් ගල්කිස්සෙ ඇවිත් කියලා පණිවිඩේ ආවා දවල් වෙද්දි... මං ඉතින් බස් එකෙන් බැහැලා වට පිට බැලුවා.. කඩ ඔක්කොම වහලා උනාට පාරෙන් එහා පැත්තෙ පුන්චි කඩයක් ඇරලා.. බෞද්ධ කොඩි වෙසක් කූඩු ලෙළ දෙනවා.. මං වට පිට බලලා එක හීයට ඒ කඩේ ඇතුළට රිංගුවා..
 

අර කියපු ළජ්ජාව ඇතිවෙන්න පටන් ගත්තා...
මට මතක් උනා අපේ ගම්පළ ගෙදර තිබ්බ උණ පඳුර.. ඇඟිලි කපාගෙන උණ කූරු සුද්ද කරපු.. වෙසක් කොළ අලවන්න පාප්ප නා ගත්ත.. සිල් අරන් ගෙදර ඇවිත් ළමා සාරිය පිටින් වෙසක් කූඩු එල්ලපු කාලෙ මතක් උනා... ඊට පස්සෙත් කොහොම හරි වෙසක් එකට කූඩුවක් හදනවාමයි...
 


ඒත් මේ සැරේ... චික්... මාර ලැජ්ජාව.. වෙසක් කූඩුවට 150/=.. කොඩිය 100/=.. මං වට පිට බලලා කාටවත් මූන දෙන්නෙ නැතුව ත්‍රී වීලර් එකක නැගලා වෙසක් කූඩුවත් අරන් ගෙදරට පැන ගත්තා..
මං ගෙදර ආව ගමන් හිතේ තිබ්බ බරත් එක්කම වෙසක් කූඩුව පුටුවක් උඩින් තිබ්බා.. ඒත් පොඩි බයක් වගේ තිබ්බා.. මං හිතුවා වෙසක් කූඩුව කඩෙන් ගත්ත වරදට පවුළේ ගුරුතුමියගෙන් වෙසක් ධර්ම දේශනාව ෂුවර් කියලා..
 
 
ඒත් ඇය ගැඹුරු බැල්මක් දුන්නා විතරයි.. මං පුටු ඇන්ද අල්ලගෙන හිටගෙන බෑග් එක කරේ එල්ලගෙන ඉන්න ගමන් ඇගේ සුව දුක් ඇහුවා....අර පුටුව උඩින් තිබ්බ හිතේ බර පුටු ඇන්ද දිගේ මගේ අතට ගොඩ වෙලා නැවතත් මගේ හිත කරා ළඟා උනා...

ජයන්ත රත්නායකයන් අර සින්දුව කියන අතරෙ මට හිතුනෙ.... (හරියටම මොකද්ද ලියලා විස්තර කරන්න අමාරුයි වගේ)... ඒත් ඈ අපේ ජීවිත වල තියන (කමකය නැති ) බිසි ස්වභාවය තේරුම් අරන්ද කොහෙද මේ වෙන තෘත් නිස්සද්දයි..

"ටෝමලින් එකේ ලොබි එක ලස්සනයි" ඇය මට අඬ ගැහුවා.. හරියට ඛේමාවට දෙවුරම් වෙහෙරෙ ලස්සන කිව්වා වගේ.. "ටී එම් දොඩම්වල ඉස්කෝලෙට ගිහින් තියෙන්නෙ..." තවත් කැඳවීමක්.....


මං කියාගෙන ආව දේ ඉවර නැහැ.. ඒත් මදකට නැගිටින්නම්... තුන්වන  කැඳවීම එන්න කලින්..
 
 
 

පියාසැරි පුහුණුවේ GRADUATION එක

Comments: (3)

ඊයෙ උදේ බලද්දි අර ලොකු ළමයෙක් වෙච්ච පොඩි එකා කූඩුව පැත්තෙ කරක් ගගහ හිටියා.. පොඩි කමට මූ රස්තියාදු කාරයෙක් වෙලා ද කොහෙද.. ඔය ඉන්නෙ!!

ඊළඟ කතාව පටන් ගන්නෙ ඊයෙ රෑ... මං කෑම එක බෙදාගෙන ටීවී එක දාගෙන නිවාඩු පාඩුවේ ඉඳගත්තා.. අර පොඩි එකා කීක් කීක් ගානවා කණ අස්සෙ.. බැලුව බැලුවා පේන්න නැහැ..මෙන්න බොලේ මූ ළඟම තියන ජනෙල් ග්‍රිල් එකේ ඉඳගෙන ඉන්නවා.. ළඟට හරිම කැතයි..


මුගෙ අඳොනාව අහ ගෙන ඉන්න බැරිනිසා මං පිඟානත් අරන් කාමරේට අවා.. ටිකකින් ඔන්න ගාල ගෝට්ටියක් ඇහෙනවා... බලද්දි අම්මයි තාත්තයි පුතයි තුන්දෙනා වාද කර ගන්නවා.. ෆෑන් එක උඩ ඉඳගෙන..


පොඩි එකා එකට එක කිය කිය උනත් හොඳටම බැනුම් ඇහුවා... හොඳ වැඩේ.. !!!! ටික වෙලාවක් මෙහෙම රණ්ඩුව ගියාට පස්සෙ අම්මයි තාත්තයි පැත්තකට ගිහින් කුටු කුටු ගෑවා.. වෙලාව රෑ අටට විතර ඇති... බද වැස්ස..

මේ පින්තූරෙ නම් ඩිංගක්වත් පැහැදිලි නැහැ.. මේ දොරට උඩින් තියන බීරළු ළඟට වෙලා තමයි අර දෙමාල්ලන්ගෙ කුටු කුටුව ගියෙ..




ඊට පස්සෙ අම්ම ආයෙත් ඇවිත් පොඩි එකාට හිමීට පැහැදිලි කරලා දුන්නා... ඌත් ෆෑන් එකේ තට්ටක සී සෝ පැද පැද අහගෙන හිටියා... ඌටත් ඕනෙ වැඩේ කර ගන්න නෙ.. තක්කඩියා!!!





ටික වෙලාවකින් අම්මයි තාත්තයි එකතු වෙලා පුත්‍රයා ව රෑ කියලා බලන්නෙ නැතුව ... බද වැස්සෙ පිනි බබා එක්කරගෙන ගියා..



ප.ලි.: මේ පෝස්ට් එක දාන්න ගත්තෙ ඊයෙ රෑ... නවත්තන්න උනෙත් පොඩි එකාගෙ අන්ඩපාල වැඩක් හින්දා... ඒ ටික ඊළඟ එපිසෝඩ් එකට දාන්නම්..











එයා දැන් ලොකු ළමයෙක් හෙවත් පියාසැරි පුහුණුව...

Comments: (4)
අර අපේ ගෙදරට ආව අනවසර පදිංචි කාරයෝ ගැනයි.. කොහෙන්ද ඒ පොඩි නෑදෑයෝ ගැනයි මං ඔයාලට කිව්වනෙ...
ටික දවසකින් තමයි දන්නෙ නෑදෑයෝ කිව්වට එක්කෙනයි කියලා.. ඉතින් අද උදේ බලද්දි මහා කළබගෑණියක්.. මං හිතන්නෙ පුන්චි එකා දැන් ලොකු ළමයෙක් කියලා අම්මටයි තාත්තටයි හිතෙන්න ඇති.. බැලින්නං ඇත්ත තමයි.. ඌ අහුරක් විතර ලොකු වෙලා..

මේ ඉන්නෙ ලොකු ළමයෙක් වෙච්ච පොඩි එකා..



මං ඉස්සෙල්ලාම දැක්කෙ අම්මා ඉඳගෙන පුන්චි එකාගෙ අත් තටු හොටෙන් හැඩ කරනවා.. ඊට පස්සෙ කකුල් වලට කොට කොට සුද්ද කළා.. අම්ම ඉගිල්ලිලා ගියාට පස්සෙ පොඩි එකා ලතෝනි තියන්න පටන් ගත්තා..





මෙන්න මෙහෙම තමයි අම්මා පිහාටුයි කකුල් දෙකයි සුද්ද කරලා හැඩ කළේ..



ඉතින් ඔන්න අම්ම මයෙ හිතේ තාත්තටත් කේලම කියලා එක්කන් ඇවිත්... දෙන්නගෙම හොටේ කෑම.. අම්මා ඉස්සෙල්ලාම ගිහින් ආදරෙන් කැව්වා..
 
හබුං කටයි පණු දෙකටයි..!!! උසි කපුටෝ උසී.....!!!!
 
වෙනදාට වඩා අද කෑම ලෝඩ් එක අඩුයි.. ඔන්න ඉතින් පොඩි එකා ඒ ටික කාලා ආයෙත් ලතෝනි දෙනවා.. ඒ ගමන තාත්තා ඉස්සරහට ඇවිත් ටිකක් ඈත ඉඳලා කෑම පෙන්නලා නොපෙන්නලා වගේ පොඩි උන්නැහෙව ඇවිස්සුවා.. ආයෙ ඉතින් ඉඳලා ඉවරයි..
පොඩි එකත් අත ඇරියෙ නැහැ.. හැකි වෙර යොදා කූඩුවේ හිටගත්තා.. තාත්තා එ ඉක්මණට කිට්ටු උනා... මොන මොනවදෝ හයියෙන් හය්යෙන් කිව්වා...
 
තාත්තගෙ කුරුළු අත්දැකීම් ගැන පාඩමක්..
 
ඔන්න පොඩි එකාට හති... ඒ ගමන තාත්තා ගෙනාපුවායින් කොටසක් කන්න දුන්නා... දැන් මද විරාමයක්...
 
මෙන්න පොඩි එකා මර හඬ තලන හැටි..




විනාඩි කීපයකට පස්සෙ ආයෙත් ගෝසාව... ටික ටික පොඩි එකාට කන්න නොදී කෑම පෙන්න පෙන්න ගත කරන කාලෙ වැඩි උනා...

මට තේරුණා මේක පියා සැරි පුහුණුවක් කියලා... මාත් ඉතින් බලාන හිටියා..
ඔන්න ඉතින් ඔහොම යද්දි.. කෑම කටට දාන්නෙ නැතුව කූඩුවේ ගැට්ටෙන් තිබ්බා... ඊළඟ සැරේ ජනෙල් ග්‍රිල් එකේ උඩින් තිබ්බා.. ඒ සැරේ පොඩි එකාට සිද්ද උනා බෙල්ල දික් කරලා කන්න.. ඌ බිම බැලුවා විතරයි මර හඬ තලාගෙන කූඩුවට ගුලි උනා..
 
මේ තියෙන්නෙ මං බොහොම අමාරුවෙන් ගත්ත පවුලේ පින්තූරෙ..


තාත්තයි අම්මයි දෙන්නම ඌට කණ පිරෙන්න හොඳවයින් දෙකක් කිව්වා.. පොඩි එකා බිමට වැටෙයි කියන බයට මම පාපිස්සක් දැම්මා..
 
ඔය අතරෙ නිකම යාම බලා ගන්න දැඩි උවමනාවක් තිබ්බත් ෂෝට් ලීව් එක හාෆ් ඩේ එකක් නොවී බේර ගන්න මට නික්ම යන්න උනා..


හවස මං එද්දි, මං දාපු පාපිස්ස එහෙමම තිබුණා.. ඒ උනාට ඒ පැත්තෙ පාළුව පිරිලා.. හරියටම බලල කියන්න තරම් මම උස නැහැ.. හවසත් හිටියා කියලා "ජීවිතේ මල්" කිව්වා..

ඒ උනාට නීකමට හරි එකට හිටිය අයට කියලා යන්න තිබුණා නෙ?