අර අපේ ගෙදරට ආව
අනවසර පදිංචි කාරයෝ ගැනයි.. කොහෙන්ද ඒ
පොඩි නෑදෑයෝ ගැනයි මං ඔයාලට කිව්වනෙ...
ටික දවසකින් තමයි දන්නෙ නෑදෑයෝ කිව්වට එක්කෙනයි කියලා.. ඉතින් අද උදේ බලද්දි මහා කළබගෑණියක්.. මං හිතන්නෙ පුන්චි එකා දැන් ලොකු ළමයෙක් කියලා අම්මටයි තාත්තටයි හිතෙන්න ඇති.. බැලින්නං ඇත්ත තමයි.. ඌ අහුරක් විතර ලොකු වෙලා..
මේ ඉන්නෙ ලොකු ළමයෙක් වෙච්ච පොඩි එකා..
මං ඉස්සෙල්ලාම දැක්කෙ අම්මා ඉඳගෙන පුන්චි එකාගෙ අත් තටු හොටෙන් හැඩ කරනවා.. ඊට පස්සෙ කකුල් වලට කොට කොට සුද්ද කළා.. අම්ම ඉගිල්ලිලා ගියාට පස්සෙ පොඩි එකා ලතෝනි තියන්න පටන් ගත්තා..
මෙන්න මෙහෙම තමයි අම්මා පිහාටුයි කකුල් දෙකයි සුද්ද කරලා හැඩ කළේ..
ඉතින් ඔන්න අම්ම මයෙ හිතේ තාත්තටත් කේලම කියලා එක්කන් ඇවිත්... දෙන්නගෙම හොටේ කෑම.. අම්මා ඉස්සෙල්ලාම ගිහින් ආදරෙන් කැව්වා..
හබුං කටයි පණු දෙකටයි..!!! උසි කපුටෝ උසී.....!!!!
වෙනදාට වඩා අද කෑම ලෝඩ් එක අඩුයි.. ඔන්න ඉතින් පොඩි එකා ඒ ටික කාලා ආයෙත් ලතෝනි දෙනවා.. ඒ ගමන තාත්තා ඉස්සරහට ඇවිත් ටිකක් ඈත ඉඳලා කෑම පෙන්නලා නොපෙන්නලා වගේ පොඩි උන්නැහෙව ඇවිස්සුවා.. ආයෙ ඉතින් ඉඳලා ඉවරයි..
පොඩි එකත් අත ඇරියෙ නැහැ.. හැකි වෙර යොදා කූඩුවේ හිටගත්තා.. තාත්තා එ ඉක්මණට කිට්ටු උනා... මොන මොනවදෝ හයියෙන් හය්යෙන් කිව්වා...
තාත්තගෙ කුරුළු අත්දැකීම් ගැන පාඩමක්..
ඔන්න පොඩි එකාට හති... ඒ ගමන තාත්තා ගෙනාපුවායින් කොටසක් කන්න දුන්නා... දැන් මද විරාමයක්...
මෙන්න පොඩි එකා මර හඬ තලන හැටි..
විනාඩි කීපයකට පස්සෙ ආයෙත් ගෝසාව... ටික ටික පොඩි එකාට කන්න නොදී කෑම පෙන්න පෙන්න ගත කරන කාලෙ වැඩි උනා...
මට තේරුණා මේක පියා සැරි පුහුණුවක් කියලා... මාත් ඉතින් බලාන හිටියා..
ඔන්න ඉතින් ඔහොම යද්දි.. කෑම කටට දාන්නෙ නැතුව කූඩුවේ ගැට්ටෙන් තිබ්බා... ඊළඟ සැරේ ජනෙල් ග්රිල් එකේ උඩින් තිබ්බා.. ඒ සැරේ පොඩි එකාට සිද්ද උනා බෙල්ල දික් කරලා කන්න.. ඌ බිම බැලුවා විතරයි මර හඬ තලාගෙන කූඩුවට ගුලි උනා..
මේ තියෙන්නෙ මං බොහොම අමාරුවෙන් ගත්ත පවුලේ පින්තූරෙ..
තාත්තයි අම්මයි දෙන්නම ඌට කණ පිරෙන්න හොඳවයින් දෙකක් කිව්වා.. පොඩි එකා බිමට වැටෙයි කියන බයට මම පාපිස්සක් දැම්මා..
ඔය අතරෙ නිකම යාම බලා ගන්න දැඩි උවමනාවක් තිබ්බත් ෂෝට් ලීව් එක හාෆ් ඩේ එකක් නොවී බේර ගන්න මට නික්ම යන්න උනා..
හවස මං එද්දි, මං දාපු පාපිස්ස එහෙමම තිබුණා.. ඒ උනාට ඒ පැත්තෙ පාළුව පිරිලා.. හරියටම බලල කියන්න තරම් මම උස නැහැ.. හවසත් හිටියා කියලා "ජීවිතේ මල්" කිව්වා..
ඒ උනාට නීකමට හරි එකට හිටිය අයට කියලා යන්න තිබුණා නෙ?