අපේ කතා බහේ ඉතුරු ටික.. (රජයේ සේවකයෙක් නොවුණ හැටී )

Comments: (4)
මේක පසු වදනක්..

මට මෙහෙම හිතෙනවා වත් ගෙ අදහස ගැන.. දොස්තර වරු, නර්ස් ලා, ගුරුවරු මේ අයත් රජයේ සේවකයො.. මේ අය නැතුව අපේ පැවැත්මක් නැහැ..ඒක අවිවාදාත්මකයි. ඒ අපිට සේවා සපයන අය.. අර පොඩි කාලෙ පරිසරයට ඉගෙන ගත්තෙ?.. මතකද? මෑත කාලීනව දැක්ක විදියට මේ අය ඉතාම හොඳ කාරුණික සේවයක් සපයනවා.

මං මෑත කාලීන කියන වචනෙ කිව්වෙ, මට මතකයි අපි පුංචි කාලෙ තාත්තා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නිලදාරියෙක් විදියට වැඩ කළා. දවසක් අපි දුර නෑදෑ ගෙදරක ගිහින් එන ගමන්, වාහනයක් සොයමින් හිටිය අමාරු ලෙඩෙක්ව ඉස්පිරිතාලෙට ගෙනිච්චා..කාර් එකේ පස්ස දොර ඇරගෙන ලෙඩාගෙ අයිතිකාරයා ඉස්සෙල්ල බැස්සා.. උපස්ථායිකාවක් අත් දෙක බැඳගෙන "කෝ ඔය ලෙඩා බස්ස ගන්නකො.. ඇවිදින්න පුළුවන්න්නෙ?" කියලා කුසීත කමින් අහද්දි තත්තා වාහනයෙන් බැස්සා.. අසුරු සැණින් රෝද පුටුද උපස්තායකයින් ද වැහි වැස්සා..

අද ඇත්තටම මේ තත්ත්වෙ වෙනස්.. ඉඳුරාම වෙනස්.. සෞඛ්‍ය සේවය අනර්ඝයි... අනිත් සේවයනුත් ඒ තරමට දියුණුයි..

එතකොට මං ඇඟිල්ල දික් කරන්නෙ කාටද?


හරි!!! කාර්යාල වලට.. හැබැයි හැමෝටම නෙවෙයි..පැහැදිලිවම අර කලින් පෝස්ට් එකේ වගේ නිලදාරින්ට.. අපරිණත (පරිණත වෙන්න උවමනාවක් නැති ) වෘත්තිකයන්ට.. 
අපිට හිතන්න වෙනවා සෞඛ්‍ය වගේ සේවාවන් දියුණු වෙන්නත් මේ මහත්තුරු එක තැන පල් වෙන්නත් හේතුව.. මට හිතෙන්නෙ සේවාවන් දියුණු කරද්දි ඒ අය පුහුණු කරන පාඨමාලා වල ආචාර ධර්ම උගන්නනවා.. තරඟ විභාග වලින් එන අයට මේ වාසනාව කොයිතරම් තියනවාද කියලා මං දන්නෙ නැහැ.. 
 
මගේ රියදුරු බලපත් නැතිවෙලා සෑහෙන කල්.. අදාල කාර්යාලයට ගිය දවසක් ඇත්නම් "නෝනා" නිවාඩු, කනවා, තේ බොනවා, පොඩ්ඩකට එලියට ගිහින්..


ඒ අතරම ආගමන විගමන දෙපාර්තමේන්තුව වගේ විශිෂ්ට තැන් තියනවා..

මං හැමදාම හිතන දෙයක් තමයි ග්‍රාම සේවකය ඇයි ඊමේල් නැත්තෙ කියලා.. අපොයින්ට්මන්ට්  ගන්න.. අවශ්ය දේ කියන්න.. ඕන කරන ලියවිලි කලින්ම ලෑස්ති කරගෙන යන්න... ඒක කොයි තරම් අගේ ද?
 
අපි මේ වගේ දේවල් කොයි තරම් ලස්සනට ඊමේල් වලින් හසුරවනවද?තැපැල් ගාස්තු නැහැ.. ප්‍රමාද නැහැ...
 
ඔය අරවා මේවා මොනවා නැතත් හිත පිරෙන්න වැඩ කරලා දෙන මහත්වරුන් නෝනා වරුන් ඉන්නවා.. මට දුක ඒ අයට යි අනිත් අයටයි එකම හැන්දෙන් බෙදන එක ගැන..


ලියනවානම් තව හෑලි ලියන්න පුළුවන්.. දැනට ඕක ඇති... :-)

මං රජයේ සේවකයෙක් නොවුණ හැටි...

Comments: (12)
මේ පෝස්ට් එකට උත්තේජකය උනේ.. කලින් පෝස්ට් එකට රවා දාපු කමෙන්ට් එකක්...... කතාව මේකයි..

ජීවිතේ වසන්ත කාලෙ උදා වේගන එද්දි මං ඒ ලෙවල් පාස් වෙනවා.. යාන්තම් ජාම බේරෙන්න..මොකද.. ශිෂ්‍ය නායක කම් අරවා මේවා තිබ්බ නිසා මට නං ඔයින් ගියා ඇති..ඉතිං මම ඊළඟ සැරේ විභාගෙට ලෑස්ති වෙන අතරෙ අහඹු සිදුවීම් මාලාවක ප්‍රතිඵලයක් ලෙසට මං දිල්ලි සරසවියෙ ශිෂ්‍යාවක් බවට පත් වෙනවා..

කොහොම හරි මං මගේ ජීවිතේ ස්වර්ණමය යුගය අරඹන්නෙ ඊටත් ටික කාලෙකට පස්සෙ.. ඒත් අහඹු සිදුවීමක් ලෙස මගේ සඳ මුණ ගැහුණට පස්සෙ.. මුල් කාලෙ මං උදාසීන කමින් ඉගෙන ගත්තට පස්සෙ හරි ගියර් එකට එනවා.. දහසක් ප්‍රශ්න මැද්දෙ මං උපාධියක් සම්පූර්ණ කරද්දිම, සඳ මාව වෘත්තිමය මාස්ටර්ස් එකකට රෙජිස්ටර් කරනවා... එතැන් සිට මං හුඟක් දේවල් ඉගන ගන්නවා... හුඟක් පරිණත වෘත්තිකයින් ඇසුරු කරනවා...මේ අතරින් පතර හරි හරි කතා ගොඩක් තියනවා.. මතක් වෙන වෙන ගානට ඒවා ලියන්නම්...

ඉතින් අදට අවුරුදු කීපයකට කලින් හා පුරා කියලමද කොහෙද ආන්ඩුවෙන් උපාදි ධාරී රස්සාවල් දෙන්න සම්මුඛ පරීක්ෂණ තියනවා.. මාත් ඒකකට යනවා...


මාව පරීක්ෂණයකට ලක් වෙනවා..

මොකද්ද උපාදිය? බයොලොජි
මොනවද දක්ෂතා? ......................
කොහෙද යුනිවසිටි එක? දිල්ලි
මෙහෙ යන්න ලකුණු මදි උනාද? ඔව් ටිකක්..


(නිලධාරියා එම්බෝස් වී හිඳගෙන සිටි පුටුවෙන් කොන්ද කෙලින් කර ගනී)

"ඒ කියන්නෙ අපේ ළමයි පාඩම් කරලා යුනිවසිටි යනවා.. ඔයාලා ෆේල් වෙලා සල්ලි දීලා උපාධි අරන් පාස් වෙන ළමයින්ට කියලා සර්/මැඩම් කියව ගන්නද කල්පනාව?.."

මං තනි වචනෙන් උත්තරයක් දුන්නා... "ඔව්".. මං ෆයිල් එක ගත්තා.. ගෙදර ආවා.. ඊට පස්සෙ කීප වතාවක් මං තරඟ විභාග වලට ලිව්වෙ අම්මව සතුටු කරන්න.. මං පාස් වුනා.. මේ චන්දෙට විභාගය.. ඊළඟ චන්දෙට ප්‍රතිඵල.. 2006 ලිව්ව විභාගෙ සම්මුඛ පරීක්ෂණය 2009 තිබ්බා.. ගිය අය කිව්වා ඒක අවලංගු උනා කියලා.. හිටි ගමන් ආරංචි වෙනවා ඒ පත්වීම් දුන්න කියලා..

මං අදට පුද්ගලික උසස් අධ්‍යාපන ආයතනයක විභාග කළමණාකරණ කටයුත්තක නියැලෙනවා..


විටින් විට නෑදෑයො වැඩිහිටියෝ හම්බුනාම රජයෙ රස්සාවක වැදගත් කම ගැන දේශනාවක් ලැබෙනවා.. නිකන් ලැබෙන අවවාදෙනෙ .. මාත් අහගෙන ඉන්නවා..

පෙන්ෂන් එකක් තියන.. නිවාඩු තියන... එච්චර වැඩ නැති .. රස්සාවක් ගන්න .. පොඩි උත්සාහයක් කරන්න තියෙන්නෙ...

ඒත් මුල ඉඳළම මුල් බැහැගත්ත අකමැත්ත මහා යෝධයෙක් වගේ නැගී හිටිනවා..

මට ඕන වෙලාවට රස්සාව වෙනස් කරන්න පුළුවන්.. මගෙන් උපරිම ප්‍රයෝජන ගන්නවා.. ජොබ් මාකට් එකේ ඩිමාන්ඩ් එක හොඳයි... තරඟකාරියි...අලුත් තාක්ෂණය හොඳයි.. සජීවී මිනිසුන් මුණගැහෙනවා.. ජීවිතේ ගෝ එකක් තියනවා... (මට හිතෙන්නෙ එහෙමයි )


ඔන්න ඔහොමයි මං රජයේ සේවකයෙක් නොවීමේ කතාව...

ඇත්ත ජීවිතේ හැංගිමුත්තං සහ හොරා පොලිස්..

Comments: (4)
පුංචි කාලෙ හොරා පොලිස් හැංගිමුත්තං කරන්න මං ආසා නැහැ.. මට වෙනම සෙල්ලම් සෙට් එකක් තිබුණා... ඉස්කෝල දාන එක.. බත් උයන එක.. සැලඩ් හදන එක.. (අදටත් මං ආසම දේ තමයි මං උයන දේ අනිත් අයට කන්න දෙන එක )

ෆිල්ම් බලන්න ගියත් මං ආසා නැහැ ගහගන්න ඒවට..ඒ උනාට අහම්බෙකින් හරි හොරා පොලිස්, හැංගිමුත්තං කරලා පලපුරුද්ද තිබ්බ එක හොඳයි කියලා තේරුණේ අද..

අද උදෙන්ම නමෝ විත්තියෙන් කියලා මෙහෙයුමක් පටන් ගත්තා.. මොකද දින කීපයකට ඉස්සෙල්ලා මට ආරන්චියක් ආවා අපිට අයිති දේ කොල්ල කා ගන්න ලියවිල්ලක් අස්සන් වෙලාතියනවා කියලා... මම බැක්ග්‍රවුන්ඩ් රිසර්ච් කළා..

ඔයාලා කියවලා ඇති අර සත්ථිකුම්භ ජාතකය?... අර ගිරා පැටව් දෙන්නගෙ කතාව... ඉතින් මට ඉන්නවා ඔය වගෙ බාප්පලා දෙන්නෙක්.. මේ කතාවේ නායකයා සත්ථිකුම්භ.. තව පුරෝහිතයෙකුත් ඉන්නවා... මොන වැඩේට ගියත් මට හිමි වෙන්නෙ දුෂ්ටයාගෙ චරිතෙ... දුෂ්ටයා ගෙ ඇසිස්ටන් තමයි අපේ අම්මි...


උදේ 7 වෙද්දි හා හාපුරා කියලා පළමු ඇමතුම.. එකඟයි.. හරිම ස්වීට්... පුරෝහිතගෙන් අපොයින්ට්මන්ට් එක.. ඒකත් හරි...නිල වාහනය.. ඒකත් හරි...
 
දවල් 11 වෙද්දි හරියටම සත්ථිකුම්භයි, මායි මගෙ ඇසිස්ටනුයි පුරෝහිතගෙ දොරකඩ.. සත්ථිකුම්භ හාං කවිසියකිං වත් හිතුවෙ නැහැ කාපුවා වමාරන්න වෙයි කියලා... වමාරද්දි පුරෝහිතය හීන් දාඩියයි මහ දාඩියයි දෙකම දාලා කමිසය මුලුමනින්ම තෙමුණා.. මගේ මෙහෙයුම සාර්ථක උනා.. පුරෝහිතගෙ උදව්වෙන් සත්ථිකුම්භ හදපු කොලේට කියන්නෙ දිවුරුම් ප්‍රකාශයක් කියලා.. කෙටියෙන් කියනවානම් දිවුරුම් පෙස්සමක්.. මං නං කියන්නෙ පෙස්සමක්...
 
මං දැක්කා එක්තරා ඇරුණු ඉස්කෝලෙක සුදුසු කම කියන්න පිංතූරයක් පුරෝහිතගෙ සාලෙ තිබුණා.. මට සංවේගයක් උපන්නේ ඒ ගැන... වෘත්තිමය සුදුසුකම් දෙනකොට අපේ රටේ කොයි තරම් වෘත්තිය සදාචාරය උගන්නනවද කියලා... සල්ලි දෙනවානම් ඕනෙම කුණක් කරන තරමට දුක් විඳලා ගන්න සුදුසු කමක් බාල්දු කරන්නේ ඇයි?..
 
නොමේරූ වෘත්තිය සදාචාරය නිසා තමයි අපේ රටේ සත්ථිකුම්භලා රජ වෙන්නෙ...




ඔයාලට මොකද හිතෙන්නෙ?

ආරෝග්‍යා පරමා ලාභා... ඇත්තමයි!!!

Comments: (2)

මේක තේරෙන්න ලෙඩ වුනාටම විතරක් මදි... තමං ලෙඩ උනාම මට දැනෙන්නෙ මං හරි සංවේදියි කියලා..


සමහර වෙලාවට මං ලෙඩ වෙලා හොඳ වේගන එද්දි අම්මා ලෙඩ වෙනවා.. එතකොට ඉතිං ඔක්කොම වැඩ මගෙ පිට..සමහර වෙලාවට කේන්තිත් යනවා..


මේ සැරෙ වුනේ වෙනස් වැඩක් . අම්මා ලෙඩ වෙලා ඉන්දැද්දී මං ලෙඩ උනා... කවදාවත් නැති තනි කමක් දැනුණා.. එතකොට ඇත්තටම දැණුනෙ අසරණ කමක් නෙවෙයි.. බලාපොරොත්තු සුන් වෙච්ච ගතියක්..



අපි කොච්චර නං සමීපතමයන්ගෙන් මානසිකව යැපෙනවද?

ඔන්න මං ආයෙත් ආවා... දැන් කොමෙන්ටු පෙට්ටිය හරි...

Comments: (10)

පහුගිය දවස් ටිකේ නොකිව්වට මොකද පොඩි හිතේ අමාරුවක් තිබුනා... කවුරුත් මං දිහා ඇහැක් ඇරලා බලන්නෙ නැති හැටි?... .......... ඉතින් ඔන්න ඔහොම කාලාන්තරයක් ගත වෙද්දි තමයි ජීවිතේ මල් ට හඳ පානෙ රවුමක් යන්න හිතිලා තියෙන්නෙ.. මදැයි කොළා... පුරසඳට කොමෙන්ට් දාන පාර වහලලු..
ජීවිතේ මල් මේක කියන්න බස් ගානකින් මාරු වෙලා.. මගදි පාර වැරදිලා.. ආයෙ අහගෙන අහගෙන.. මාව හොයාගෙන ආවා... ඇවිත් තේකක් එහෙම බීලා පවන් සල සල ඉන්න ගමන් තමයි මේ සංගැදිය කිව්වෙ...

දැන් ඔන්න හරි...


ආයෙත් ඉතිං වහංගන්නෙ නැතුව හිතට එන දෙයල් කියලා වැඩක් නැහැ කියලා හිතුනොත් ලියලා තියන්න...

සංස්කෘතිය ගානට මාකටින්...

Comments: (1)
ඉතිං අර අවුරුදු කුමාරියෝ ගැන කියද්දි ඔයවගේම තවත් පිස්සු ලෙවල් විහිළුවක් තමයි කජු ගම කජු ලියෝ... පව් දෙය්යනේ.... ලාබෙටම ගන්න පුළුවන් පච්ච වඩම් රතු පාට රෙද්ද හැට්ටෙට දාර සයිස් මොට්ටුව කොයි තරම් නොගැලපෙනවද කියලා බලන අපිට මිස අසරණ ඔවුනට පෙනෙන්නෙ නැහැ...

මේ අතරෙ ඔය පල්ලෙහා පිංතූරෙ ඉන්න ගෙවිළිය මට මුණ ගැහුණෙ ඇමරිකාවෙ වර්ජිනියා ප්‍රාන්තයෙ දි...


අපි තේමා උද්‍යානයකට ඇතුල් වෙද්දි ඇය කවුදෝ එනකම් මග බලාගෙන හිටියා.. වෙහෙස නිසා දෝ ඇය අපිත් සමඟ ඇගේ ගොවිපොළ මැද තිබුණ කුඩා නිවසට යන්න හැරුණෙ මැසිවිල්ලක් කියමින්...


ඇගේ සැමියා කඩපොළට ගිහිං.. ඇගෙ ඉරුණු ගවුම එළලන්න ඉදිකටු, තව කුළුබඩු.. මේ ආදි බඩු ලැයිස්තුවක් ඈ කියාගෙන කියාගෙන ගියා... එක හුස්මට කියාගෙන ගිය අඳෝනාව ඉවර කලේ... මේ සියළු දෑ ගෙන එන්න ඇය ඩොලර් එකක් දුන් බව කියමින්...

දෙය්යන්ට ඔප්පු වෙච්චාවෙ!!! මේ සකළ මනාවටම ඩොලර් එකක්!!!!
 
අපටත් නොදැනීම මැසිවිල්ල දිගේ ඇය අපිව 17වන සියවසට අරං ගිහිං..
 
ඇමරිකාව කියන්නෙ සියවස් කිහිපයක පමණක් හරි හමං ඉතිහාසයක් තියන.. සංස්කෘතිය හුවා දැක්වීමේදී ආසියාතික පහනින් එළිය බලන දේශයක්... එයාලා ඒ කෙටි ඉතිහාසය ලස්සනට present කරනවා, market කරනවා..
 
ඒ අතරෙ.. අපි.. අවුරුදු කාලෙට සුපිරි වෙළඳ හල් වල කෙල්ලන්ට "L" බෝඩ් ගහලා චීත්ත හැට්ට ඇන්දෙව්වට සංස්කෘතිය රැකෙනවද?...Cultural Marketing කියන එක සිද්ද වෙනවද?
 
අනේ මංදා....

ගෙල වැල ලා ගත් අවුරුදු කුමාරියෝ....

Comments: (0)


අවුරුද්දත් කිට්ටු කිට්ටු නිසා හැම තැනම අවුරුදු සංකෙත වැහි වැහැලා... කොළොම්පුරේ ට තාම ඒකෙ එච්චර වගක් නැති උනාට, නුවර පළාතෙ අවුරුදු සිරි ඉතිරෙන්න පටං අරං..
හදි හදිස්සියෙන් උනත් නුවර ටවුමෙ රවුමක් දෙකක් ගියාම තමයි තේරෙන්නෙ අවුරුදු ජයයි කියලා.. නගර කේන්ද්‍රයේ දොරකොඩ රබානක් වැයෙනවා... මුලු නුවරම ගෝසාව නිසා රබානට උඩින් මයික් එකක් සෙට් කරලා සවුන්ඩ් කොන්ට්‍රෝල් කරලා බලෙන්ම වගේ අහන්න සලස්සනවා...
මුළු නුවරම ජනතාව සාන්ද්‍රනය වෙලා තියෙන්න දළඳා වීදියට.. ඔයාලා හිතයි දළඳා වඳින්න කියලා.. සාධුකාර දෙන්න කාරි නැහැ... දළඳා වීදියී තමයි පදික වෙළඳාම සරුම.. කොට කලිසමේ සිට දිග කලිසම දක්වාත්.. බතික් ඔසරියේ සිට සෙරෙප්පු කුට්ටම දක්වාත්.. කොරොස්, ඇතිලි, ටින් කටර්.. මෙකී නොකී සියලු අවශ්යතා එකම වහලක් යටින් ගන්න පුලුවන්.. ( මෙතන ඇත්තටම ඉටි රෙදි එකට යා වෙමින් වහලක් නිර්මාණය වෙලා)
දැන් හැම සුපිරි වෙළඳ සලක් ම ආල වට්ටං දාපු වට්ටම් අවුරුද්දට කියලා හිත පිරෙන්න දෙන නිසා මමත් එයින් කීපයකටම ගොඩ උනා..
ඔන්න ඒවයෙ තමයි අවුරුදු...ගැමි සුවඳ වෑස්සෙනවා...

හැම කෑෂ් කවුන්ටරයක් ඉස්සරහම ගැමි ළඳක්.. චීත්තයක් හැට්ටයක් ඇඳලා.. කොණ්ඩ පොඩියක් බැඳලා.. සරම කමිසෙ ඇඳපු මානවකයෙකුගෙ ආදාරයෙන් කස්ටමර් සර්විස් කරනවා..
ඒ අතරෙ අහවල් බැංකුව එක්ක ගනුදෙනු කරනවද කියලත් අහනවා.. මට මුණ ගැහිච්ච ළඳ ගෙ ටින්ට් කරපු කොන්ඩ රැල්ල කනේ රඳවන්න ගිහිං කොහොම හරි මගෙන් බැංකුවේ විස්තරේ ඇහුවෙ ටිකක් පමා වෙලා.. මම ඔවු කිව්වා... එක වරටම ඇය ගැමි බව විදහා පාමින් "ඕ ෂිට්!!!! " කිව්වා... ඔය අතරෙ පං කොල වට්ටි වල ෂම්පු, බොඩි වොෂ් දා ගෙන ප්‍රමෝෂන්...
කොහොම හරි අවුරුදු උද්දාමය ඔද්දල් වෙච්ච ඕලාරික හැඟීමකින් මම රෝද තුනක නැගී නිවස බලා එද්දි, බෙහෙත් පෙත්තක් ගේන්න කිව් බව මතක් උනා.. ඉතින් තවත් සුපිරි වෙළඳ සලකට..
ගිනි මද්දහනෙ.. ඇස් නිලංකාර වෙලා තියෙද්දි මං හනි හනිකට ෆාමසියට ගොඩ උනා.. කිසියම් ගුප්ත භයංකර රසයකින් යුත් සැරසිල්ලක් ඇස් කොනින් දැක්ක නිසා පොඩි තිගැස්සීමක් දැනුනත් කෙලින් බලපුවාම තමයි තේරුණේ.සුපිරි වෙළඳ සැලේ බඩු රාක්ක වලට උඩින් බැඳපු මල් වැල් ඔන්චිල්ලා වල පපට් ලියන් ඔන්චිලි පදිනවා.. බැලු බැල්මට මනාව නිමවා නැති මේ උඩවැඩියාවන් පෙනෙන්නේ ගෙල වැළ ලාගෙන ඇස් උඩ තියාගෙන ඉන්නා සෙයකුයි..
මේ අඬෝවැඬියාව මෙතනින් නවත්තන්නං... මේ වගේ නෙයියාඩගං දකිනකොට මට මතක් වෙන පුංචි සිද්දියක් තියනවා.. කතාව දෙපළු කරලා හැකි ඉක්මණින් ඒකත් කියන්නම්...


ප.ලි.: අපි අතීතය වැළඳ ගනිද්දි.. අනාගතය වැළඳ ගන්නවාට වඩා පරිස්සම් වෙන්න ඕනෙ.. එහි හරය.. සාරය.. අවබෝධයෙන් දැකිය යුතුයි... මොකද...? සංස්කෘතිය සහ වෙළඳ ලෝකය ගැටෙන්නේ එතකොටයි..අළෙවිකරණය අසාර්ථක වෙන්නේ ඔතැනදියි.. ඔතන තියෙන්නෙ පුංචි දෙයක්..අනාගතය වෙනස් කළ හැකි මුත් අතීතය වෙනස් කළ නොහැකියි..