දනන් නිදි කළ අට මස් ගැබිණිය ....

Comments: (0)
ඔන්න මම අද නම් 4.58 කොල්ලුපිටියෙන් කෝච්චියට නැග්ගා.. තරමක් ඉඩ තිබුන පෙට්ටියේ හිටගෙන මහ සාගරය දිහා බලාගෙන තැන්පත් උනේ එතකොට කල්පනා සාගරයෙ ගිලෙන්න ලේසියි.. ඔන්න දැන් බම්බට ළං වෙනවා... කෝච්චිය ක්‍රී...ස් ගාගෙන පළවන වේදිකාවට මුකුළු කර කර නැවතුනා...

මගේකල්පනා දැහැන බිඳීගෙන ඉරිතලාගෙන ගියේ ඒ පැත්තෙ ඉඳගෙන හිටිය අය පේළියේ අනු පිළිවෙලට සිහිසුන් වේගෙන යන ස්වරූපයක් තිබ්බ නිසා..මගේ හිතට බයක් දැනුනා..

එක පාරට කෝච්චිය ඇතුළට විස වායුවක් වත් කාන්දු උනාද? මං ළඟම ගෑණු දෙන්නෙක් පාඩම් කරමින් හිටියා.. ප්‍රශ්නෝත්තර පොත් දෙකක් අතේ තියාන සාකච්ඡා කරමින්. උන් දෙන්නත් ක්ෂණික නින්දකට පත් උනා.. එහෙමත් නැත්නම් කෝච්චිය ඇතුළට විදුලිය වත් කාන්දු උනාද? සාගරයේ ළවණතාවය වැඩි වෙලා හුස්ම හිර උනාද.. ඒක වෙන්නත් බැහැනෙ.. එහෙමනම් මම මේ ඉන්නෙ???

මළා!!!!!! පස්ස හැරිලා බලපුවහම තමයි වැඩේ තේරුණේ..මාස අටක විතර දරු ගැබක් උස්සගෙන තරුණ මවක් නැගලා.. කෙඬෑරි පහේ මිනිහෙක් "කවුරු හරි සීට් එක දෙනවද??" කියලා සියුමැලි නිවේදනයක් නිකුත් කළා..

තරුණ මව උදරය අල්ලා ගත්තා.. මං හිතන්නෙ නින්ද ගිය අයට ඇහුනෙ නැතුවට බඩේ ඉන්න ළමයටත් ඇහිලා.. එයා නැගිටින්න හදලා...



මේ වැඩේ හරි යන්නෙ නැහැ.. " ප්‍රෙග්නන්ට් එක්කෙනෙක් නැගලා..කවුරු හරි ඇහැරලා ඉඩ දෙනවද???" මම ස්ටේශන් එකෙ නිවේදන දෙනවට වඩා ටිකක් අඩු හඬකින් අවසාන නිවේදනය නිකුත් කළා..එක් මහත්තයෙක් උඩ විසි වෙලා නැගිටලා ඉඩ දුන්නා.. එතකොට තමයි දැක්කෙ ඔහු කකුල් දෙකටම කලිසමක් ඇඳලයි හිටියෙ..

මම බහිනකොට හොරෙන් ඒ පැත්ත බැළුවා.. හැමෝම ඇහැරිලා.. එයාල නපුරු හීනයක් දැකලා ඇස් ලොකු කරන් මං දිහා බලන් හිටියා..

Resignation notice (unofficial) w.e.f. Oct 13

Comments: (0)
 සැප්තැම්බර් මාසයේ මම ඉල්ලා අස්වීමේ ලිපියක් ලීමි.. එයට සමගාමීව එහි හැඟුම් බර  version එක මෙසේ ලියා තැබීමි..
ග්‍රීස්මයට කලියෙන්..
හදාගත් කුටුම්භයම ඉඩ මදි ව..
පියා හඹන්නට හුළං හමනකං ..
කුටුම්භ බිත්තියම පුපුරා හැලෙනකං 
මැලියමින් ඇළුණු ඇස් අරිමින්.
බලන් ඉන්න සමනළයා..
තටු ගසයි....

Inline image 1

පහන්මාගමනය සහ හඳපාන හීන වීම..

Comments: (0)
පුර හඳ පානෙ රවුමක් යන්න හම්බුනේ හරියටම අවුරුදු දෙකහමාරකට විතර පස්සෙ. ඒකට හේතුව තමයි පහන්මාගමනය.. දැන් ඉතින් ආයෙත් නිතර දෙවේලෙ තරුවක් පැළඳගෙන ඇවිදින පුරහඳ දකින්න පුළුවන්.

ලිංගික ශ්‍රමිකයන් නීතිගත වීම.. අනභිබවනීය ප්‍රයත්නය...

Comments: (4)
ලිංගික ශ්‍රමිකයන් හා ඔවුන්ගේ මානව හිමිකම් ගැන W3lanka ලියපු දේ අඹගහ යට ඉඳන් කියවද්දි ... ආහ්හ්හ්!!!!


මෙහෙම හිතන්න... ඔන්න සඳුදා.. ඔක්කොම පත්තර වල, ටීවී වල.. රේඩියො වල නෙට් එකේ මෙකී නොකී සියලු තැන් වල ලිංගික ශ්‍රමිකයින්ගේ ඡායා රූප පළ වෙනවා.. මාධ්‍ය සාකච්ඡා පැවැත්වෙනවා.. මාධ්‍ය වේදීන්, මාධ්‍ය ලෝලීන්, ප්‍රකාශකයින්.. ප්‍රේක්ෂකයින් ෆුල් බිසි වෙනවා..


ඔය අතරෙ.. බස් ස්ටෑන්ඩ් වල පාර තොටේ රට වටේ ගැහැණු පිරිමි දෙපක්ෂයම එකතු වෙලා හැම ගැහැණියෙක්ගෙම මූණ හිස් කබළේ ඇට මිදුළ දක්වාම තමන්ගෙ ඇස් දෙකෙන් ම ස්කෑන් කරනවා..මොකද.. අර මාධ්‍ය වල තිබ්බ තහනම් ගහේ ගෙඩි කාපු ගෑණියෙක්ගෙ පිංතූරයක්ද කියලා බලන්න.. ඔන්න සඳුදත් ගෙවෙනවා.. රටම ෆුල් බිසි මූඩ් එකක නින්දට යනවා..



ඔන්න අඟහරුවාදා....අපෙ රටේ මානව හිමිකම් යථා පරිදි සිද්ද වෙනවා.. ඔන්න නඩු කාර හාමුදුරුවෝ යුක්තිය පසිඳලනවා.. ඊට පස්සෙ ලෝකයේ පැරණිම වෘත්තියේ ඇති වටිනා කම සහ අයිතීන් හඳුනාගෙන ලිංගික ශ්‍රමිකත්වය නීති ගත කරනවා..
(මේ අතරෙ කසු කුසු පැතිරෙනවා.. අහවලාගෙ අහවලා ත් ඔතන ඉන්නවා.. එයාගෙ පිංතූරෙත් තිබිලා තියනවා.. ඒකයි ඔය බේරගන්න සපෝට් කරලා තියෙන්නෙ )
 
 
ඔන්න ඉතිං ලන්කාවට වසන්තය උදා වෙනවා.. අඟහරුවාදා හවස් වෙද්දිම වගේ.. සියලුම ආයතන ඕටී එපා කියා රෑ දෙගොඩහරිය වෙනකම් ක්‍රම සම්පාදනය කරනවා.. වෘත්තීය මට්ටමකින්මිල පාලනයකට යටත් කරනවා.. සම්මත මිලක් උස බර වයස පෙනුම අනුව මානයකට අනුව තීරණය වෙනවා.. ගෙදර යන ගමන් අඩුම බඩු මිලටත් වඩා අඩු මිලක් තීරණය වෙනවා..
 
 
කඩිනම් සේවයක් විදියට වහාම බ්‍රේකින් නිව්ස් වලට පණිවිඩ යවනවා.. තීරණය එනකම් පත්තර අච්චු ගහන එකත් නවත්තනවා.. ඔන්න තීරණය එනවා..
 
අදාළ ඇමැත්තා පුද්ගලිකවම මැදිහත් වෙලා මාධ්‍ය සාකච්චාවක් කැඳවනවා... "ඔබ ඇමතූ දුර කතනයෙන් ... චාරයක් නොමැත"...  "The number you dialed cannot be contacted right now.. please try again later" ... "out of the coverage area" වගේ පිළිතුරු ලැබෙනවා... රිං වෙලා රිං වෙලා නවතිනවා.. ෆුල් මල්හෝන්!!
 
ඇමැත්තා ඔලුව කහ කහ කල්පනා කරනවා.. මොකද තමන්ට තියන ජාතික වගකීම එතුමා දන්නවා.. මේ සියළු පුරංගනාවන් රෙජිස්ටර් කරන්න ඕනෙ.. සේවය ලබා ගන්න කැමති අය වෙනම රෙජිස්ටර් කරලා පෝමිට් එකක් දෙන්න ඕනෙ... ඊ ළඟට එන ප්‍රශ්න..?????? හොර පෝමිට් ඉල්ලන් එන චන්ද දායකයො මුදලාලිලා... අන්තිමට අමාරුවේ වැටෙන්නෙ අපේ ඇමති තුමා..
 
මේක පළ කරගන්න මාධ්‍ය වේදියෙක් සම්බන්ද කරගන්න නැති හැටි!!!
 
  මේ අතරෙ සියළු ම ලංකාවට සෙවා සපයන චන්ද්‍රිකා වලින් ඇලර්ට් නිකුත් කරනවා..



රටේ ශ්‍රම හමුදාව මධ්‍යම රාත්‍රිය නොතකා සරල රේඛාවක් ඔස්සේ හිටන් ඉන්නවා.. මේ ආරන්චිය ආව ගමන් ලෝකෙම බය වෙනවා.. තිස් වසරක යුද්ද්යක් නිමා කරල ජාතික සමගිය පෙන්නපු ඉන්දියන් සාගරයෙ මුතු ඇටය.. !!!!!


කිසිම සහායකයෙක් නැති තැන ඇමති තුමා හාමිනේවත් නැගිට්ටවගෙන මේ කියන මිනිස් සරල රේඛාව සොයා යනවා..
 
 



හත් දෙය්යන්ටම ඔප්පු වෙච්ච වෙලාවෙ කිරි අප්පට බල්ලො පැනලලු.. කිරි අප්පත් පෝලිමේලු... පුවත පළ වෙන්න කලියෙන්ම පෝමිට් පෝලිම හැදිලා.. හෆොයි!!!!!!!!

මා ඇගයූවාට තුති!!!!

Comments: (1)
දිගටම ලියන්නම් කියලා කය්යක් ගහලා ආයෙත් වැඩ අල්ලුවාට මොකද, යනින් එනින් ගමන් මිසක පුර හඳ දිහා බලාගෙන හිතේ තිබිච්චි දේ බ්ලොග් කරන්න වෙලාවක් නැතුවම මාස දෙකක් විතර ගිහින්...


ඔය අතරෙ වැඩිය නොලියපු මාව ඇගයීමකට ලක් කළාට ටැබූ ට බොහොමත්ම ස්තුතියි!!!
 
 
 
මේ සංචාරය යන්න මගේ හිත තුළ මුල් ගල තිබ්බෙ ජීවිතේ මල්... ඇය සිංහලෙන් ටයිප් කරන්න පුලුවන් බව මට කියා නොදෙන්න ට, යුනිකෝඩ් පද්ධතිය මගේ මැෂිමට දමා නොදෙන්නට පුර සඳට ලියන කතා කියවන්නට කාටවත් බැරි වෙයි.. එහෙනම් ටැබූට මාව හම්බෙන්නෙත් නැති වෙයි.
 
එදා පොත් ප්‍රදර්ශනයෙදි කෙහෙල් කොටුවෙ චූටි මහත්තයා ආයෙත් ලියන්න කියලා කරපු ආරාධනාව පිලි ගත්තට මොකද ආයෙත් ලියන්න ගැම්ම ආවෙ දැන්!!


ඉතිං නැවතත් ස්තූතියි!!

ආයෙත් හඳ පානෙ රස්තියාදු ගහන්න හිතුනා...

Comments: (10)
මාස ගානක දිගු නිහැඬියාවකට පස්සෙ.. හරියට සහරා කාන්තාරෙට වැටිච්ච අනියම් වැස්සක් වගේ පොත් ප්‍රදර්ශනේ.. මං හිතන්නෙ මාස ගානක කුණු කන්දල් ඔලුව ඇතුලෙ එකතු වෙලා තියන වෙලාවෙ තමයි "ජීවිතේ මල්" එක්ක බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාව පැත්තට ගියෙ.. මීහරක් බානක් දාලා අදින තරම් දැවැන්ත වේගෙකින් ධාවනය වන 154 ක නැගලා BMICH එක ළඟින් බහිද්දි තිබ්බ අන්තිම ධෛර්ය බිංදුවත් හේබාලා ගිහිං තිබ්බෙ..


ඒත් ආයෙත් පුර හඳේ රස්තියාදු ගහන්න motivate වෙච්ච re-union එක උනේ ඔතනදි... ඒකට re-union කියන්නත් බැහැ.. මොකද "re" නම් කලින් හම්බෙලා තියෙන්න එපායැ?
ඉතිං මං තාම කිව්වෙ නැහැ නොවැ මොකද්ද මේ හමුවීම කියලා.. ඒ තමයි මං රෑට රෑට හඳපානෙ රස්තියාදු ගහද්දි හම්බෙච්ච පෑනෙ (cyber) මිත්‍රයෝ ටික..
කෙහෙල් කොටුවෙ චුටි මහත්තයාවයි මැරියන්වයි නම් මං ඈත තියා හඳුන ගත්තෙ විදේශ චිත්තර ශිල්පියාගෙ දක්ශතාව නිසාමයි.. වැප් ඇතුළු කට්ටිය සරසවි එක ඉස්සරහ හම්බෙලා තාවකාලිකව විසිර යද්දි උනත් මූඩ් එකෙන් බාගයයි හරි ගිහින් තිබ්බෙ... ඊළඟට මායි ජීවිතේ මලුයි තාවකාලිකව විසිරිලා ගියා ..
ඊ වෙද්දි මට තිබ්බෙ පරණ කාර් එකක් තල්ලු කරලා ස්ටාට් කර ගත්තා වගේ හැඟීමක්.. ඒත් ගියර් දාන ලීවරය හොයා ගන්න බැරිව හිටියෙ..
ඔන්න ටික වෙලාවකින් මං "දෙවියන්ගෙ අඩවිය" ට (අනුල ද සිල්වා පරිවර්තනය කළ ."Not without my daughter") ගොඩ උනා.. වරුණාව වෑස්සෙන තල මලක් යට ( කටුගම්පල තල මල වරුණ - ජිනදාස දනන්සුරිය ) ඉඳගෙන සියක් අවුරුද්දක ඕප දූප,  ( සියවසක පුවත්පත් සිරස්තල - අනුරාධා මළලසෙකර ) ටිකක් කියෙව්වෙ "ස්වයංජාත" (සමරවීර විජයසිංහ - 2008 ස්වර්ණ පුස්තක රාජ්‍ය සම්මාන  ) එක්ක තිත්ත කෝපි ( අනුල ද සිල්වා සිංහලට නැගූ Christine Wilson ගේ Bitter Berry )  එකක් බොන ගමන්...

පොත් කීපයක හිමිකාරත්වය හිමිවීම මගින් මානසික ආතතිය දුරු වෙන බව මං මීට කලින් දැනං හිටියෙ නැහැනෙ.. ? ෂිහ්!!! හැබැයි කලින් දැන ගත්තනම් මේ වෙද්දි මං ලෝකෙ ලොකුම පොත් එකතුවේ හිමි කරයා වෙලා ගිනස් පොතටත් ගිහිං... අපරාදෙ..
ගියර් ලීවරය හොයා ගෙන ෆස්ට් එකට දැම්ම වගේ හැඟීමක් මට ඇති උනා...
ඊට පස්සෙ රන්දිල් ගෙ උපන්දිනේ සමරන්න චොකලට් කේක් එක්ක චොකලට් මිල්ක් එකකට කට්ටිය සෙට් වෙච්ච මොහොත අමතක කරන්නම බැහැ..
ඔන්න ඉතින් ඔතනදි තමයි හරියටම හෑන්ඩ් බ්‍රේක් එක නිදහස් කරලා හඳ පානෙ රස්තියාදු ගහන්න ආයෙත් සිතිවිල්ල මගට බැස්සෙ...


හිතෙන්නෙ එක දෙයයි.. "ස්තූතියි!!"

දරු සෙනෙහසට කව් ගී ලියවුනා මදී...........

Comments: (14)
ඉතාම සිත්ගන්නා සුළු සංවේදී ගීයකින් "පිය සෙනෙහසට කව් ගී ලියවුනා මදී" කියලා මලිනි ජයරත්නයන් කියනවා.. ඒත් "යෝද ඇලේ වීරිය වුන අප්පච්චී" "ගෙඩි සියයක් බිම හෙලුවත්" "මිදුලේ වැලි මාලිගාවෙ" වගේ ගීත මට මතක් වෙනවා..


හැබැයි දරු සෙනෙහසට නම් කව් ගී ලියවුනා හොඳටම මදී...... මට එහෙම කියන්න හිතුනා. මම කියන්නෙ දරුවන්ගෙ හිතේ අම්මා තාත්තා ගැන උපදින ආදරය ගැන.. ඒකට කියන වචනයක්වත් තියනවාද කියලා මට ඔලුවට එන්නෙ නැහැ.. "දරු සෙනෙහස" කියන්නෙත් දෙමව්පියො දරුවන්ට දක්වන ආදරයට..


මං දන්න "දරුවන්" 75% කට වඩා වැඩි ප්‍රමාණයක් තමන්ගෙ දෙමව්පියන් වෙනුවෙන් සාමාන්‍ය රටාවෙන් ඔබ්බට ගිහිං කැප කිරීම් කරන අය... පුංචිකාලෙ අම්මලා තාත්තලා දීපු දෙවල් වලට මානසික ණය ගෙවන අය.. බොහෝ දෙනා ඉතා ඉහළ පොලී අනුපාතික වලට යටත් වෙලත් සතුටින් ඒ දේ කරන අය.. (ඔයාලා එකඟ වේද මන්දා? )


මං ඊයෙ සෙනසුරාදා දවසෙ හිමීට කල්පනා කරලා බැලුවා මේ ගැන.. මේ කිසිම දෙයක් සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවෙන් ගත්ත දත්ත නෙවෙයි... පුද්ගලිකව මං දන්නා අඳුනන "දරුවන්" ගෙ ලිස්ට් එකක් හදලා පොඩි සර්වේ එකක් කරලා බැලුවා... ඒකෙ ප්‍රතිඵල තමයි ඔය කිව්වෙ..




"මහළු දෙමව්පියන් වැඩිහිටි නිවාස වලට යැවීම කියන්නෙ සමාජමය ප්‍රස්නයක් බවට පත් වෙලා.." දෙමව්පියන් ගැන කතා කරද්දි ඕක තමයි හොඳටම මාකට් කරන්න පුළුවන් කතාව...
 
 
 
තවත් කියනවානම් "ඒ නිසා ආච්චිලා සීයලා දරු මුණුබුරන්ට දෙන සුන්දර ළමා අත් දැකීම අපේ දරුවන්ට නැති වෙලා.. " කතාව මෙහෙම දිගට දිගට යන්න පුළුවන්..
 
 


මං පහුගිය අවුරුදු 10-12 කාලෙ අරන් බැලුවා... (මේ කාලෙ මගේ රාමුව විදියට අහු වෙන්නෙ මේක මං වැඩිහිටි "දරුවෙක්" විදියට ගත කරපු කාලෙ නිසා වෙන්න ඇති ) දරුවන් ලොකු මහත් වෙද්දි.. දෙමව්පියෝ උන්ගෙන් "නිදහස්" වෙන කාලෙ වෙද්දි, ඔවුන් ආවේණික නොවුවත් එකිනෙකාට සුවිශෙෂී පොදු ගැටළු වලට මුහුණ දෙනවා...
 
 
දියවැඩියාව.. පිළිකා.. ඔත්පළ වීම්... නීතිමය ප්‍රශ්න.. මානසික ප්‍රශ්න.. රැකියා අහිමි වීම්... විශ්‍රාම වැටුප මදි නිසා තවත් රැකියා කිරීම්... දරුවන්ට දෙන දේ දුන්නාට පසු අසරණ අඩපණ වීම්.. මේ තියෙන්නෙ ප්‍රස්න වලින් සමහරක්...
 
 
දරුවන් බොහෝ දෙනෙක් ජීවත් වෙන්නෙ දෙමව්පියන්ගෙ මේ වේදනාව පපු කුහරයේ රඳවාගෙන.. ඔයාලා එකඟ වෙයිද මන්දා?


අනේ... කාටහරි පුළුවන්නම් මගේ හිතේ තියන ගීතය ලියන්න.............?