ආයෙත් හඳ පානෙ රස්තියාදු ගහන්න හිතුනා...

Comments: (10)
මාස ගානක දිගු නිහැඬියාවකට පස්සෙ.. හරියට සහරා කාන්තාරෙට වැටිච්ච අනියම් වැස්සක් වගේ පොත් ප්‍රදර්ශනේ.. මං හිතන්නෙ මාස ගානක කුණු කන්දල් ඔලුව ඇතුලෙ එකතු වෙලා තියන වෙලාවෙ තමයි "ජීවිතේ මල්" එක්ක බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාව පැත්තට ගියෙ.. මීහරක් බානක් දාලා අදින තරම් දැවැන්ත වේගෙකින් ධාවනය වන 154 ක නැගලා BMICH එක ළඟින් බහිද්දි තිබ්බ අන්තිම ධෛර්ය බිංදුවත් හේබාලා ගිහිං තිබ්බෙ..


ඒත් ආයෙත් පුර හඳේ රස්තියාදු ගහන්න motivate වෙච්ච re-union එක උනේ ඔතනදි... ඒකට re-union කියන්නත් බැහැ.. මොකද "re" නම් කලින් හම්බෙලා තියෙන්න එපායැ?
ඉතිං මං තාම කිව්වෙ නැහැ නොවැ මොකද්ද මේ හමුවීම කියලා.. ඒ තමයි මං රෑට රෑට හඳපානෙ රස්තියාදු ගහද්දි හම්බෙච්ච පෑනෙ (cyber) මිත්‍රයෝ ටික..
කෙහෙල් කොටුවෙ චුටි මහත්තයාවයි මැරියන්වයි නම් මං ඈත තියා හඳුන ගත්තෙ විදේශ චිත්තර ශිල්පියාගෙ දක්ශතාව නිසාමයි.. වැප් ඇතුළු කට්ටිය සරසවි එක ඉස්සරහ හම්බෙලා තාවකාලිකව විසිර යද්දි උනත් මූඩ් එකෙන් බාගයයි හරි ගිහින් තිබ්බෙ... ඊළඟට මායි ජීවිතේ මලුයි තාවකාලිකව විසිරිලා ගියා ..
ඊ වෙද්දි මට තිබ්බෙ පරණ කාර් එකක් තල්ලු කරලා ස්ටාට් කර ගත්තා වගේ හැඟීමක්.. ඒත් ගියර් දාන ලීවරය හොයා ගන්න බැරිව හිටියෙ..
ඔන්න ටික වෙලාවකින් මං "දෙවියන්ගෙ අඩවිය" ට (අනුල ද සිල්වා පරිවර්තනය කළ ."Not without my daughter") ගොඩ උනා.. වරුණාව වෑස්සෙන තල මලක් යට ( කටුගම්පල තල මල වරුණ - ජිනදාස දනන්සුරිය ) ඉඳගෙන සියක් අවුරුද්දක ඕප දූප,  ( සියවසක පුවත්පත් සිරස්තල - අනුරාධා මළලසෙකර ) ටිකක් කියෙව්වෙ "ස්වයංජාත" (සමරවීර විජයසිංහ - 2008 ස්වර්ණ පුස්තක රාජ්‍ය සම්මාන  ) එක්ක තිත්ත කෝපි ( අනුල ද සිල්වා සිංහලට නැගූ Christine Wilson ගේ Bitter Berry )  එකක් බොන ගමන්...

පොත් කීපයක හිමිකාරත්වය හිමිවීම මගින් මානසික ආතතිය දුරු වෙන බව මං මීට කලින් දැනං හිටියෙ නැහැනෙ.. ? ෂිහ්!!! හැබැයි කලින් දැන ගත්තනම් මේ වෙද්දි මං ලෝකෙ ලොකුම පොත් එකතුවේ හිමි කරයා වෙලා ගිනස් පොතටත් ගිහිං... අපරාදෙ..
ගියර් ලීවරය හොයා ගෙන ෆස්ට් එකට දැම්ම වගේ හැඟීමක් මට ඇති උනා...
ඊට පස්සෙ රන්දිල් ගෙ උපන්දිනේ සමරන්න චොකලට් කේක් එක්ක චොකලට් මිල්ක් එකකට කට්ටිය සෙට් වෙච්ච මොහොත අමතක කරන්නම බැහැ..
ඔන්න ඉතින් ඔතනදි තමයි හරියටම හෑන්ඩ් බ්‍රේක් එක නිදහස් කරලා හඳ පානෙ රස්තියාදු ගහන්න ආයෙත් සිතිවිල්ල මගට බැස්සෙ...


හිතෙන්නෙ එක දෙයයි.. "ස්තූතියි!!"